බංග්ලාදේශ් නාවික හමුදාවේ “අබු බකර්” නෞකාව කොළඹ වරායට පැමිණේ
බංග්ලාදේශ් නාවික හමුදාවේ “අබු බකර්” නෞකාව සුහද සංචාරයක් සඳහා අද (20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්රදායන්ට අනුව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්විය.
අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් මහ්මුදුල් මාලෙක් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
“අබු බකර්” නෞකාව ඔක්තෝබර් මස 23 වන දින දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටින අතර, දෙරටේ නාවික හමුදා අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් වැලිසර නාවික කඳවුරේදී සුහද පැසිපන්දු තරඟයක් පැවැත්වීමට ද නියමිතය. තවද, ශ්රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් හා නාවිකයින් 50 දෙනෙකු හට මෙම නෞකාව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද හිමිවනු ඇත.



