2015 ගාලු කථිකාව සම්මන්ත්රනය ගාලු නගරයේදී පැවැත්වෙයි
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී මේ වන විට පැවැත්වෙයි. “පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් හා විදෙස් නියෝජිතයින් 13 දෙනෙකු දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් සමුළුවේ පිළිගැනීමේ කතාව සිදුකළ අතර, පළමු දින සැසියේ සමාරම්භක දේශනය අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලදී. මෙවර සමුළුව සඳහා නාවික හමුදාධිපතිවරුන් සිව් දෙනෙකු ඇතුළු විදෙස් නියෝජිතයින් 109 දෙනෙකු සහ දේශීය නියෝජිතයින් 107 දෙනෙකු සහභාගී වී සිටියි.
පළමු දින සැසියේ දී නයිජීරියානු නාවික හමුදාවේ රියර් අද්මිරාල් ජෝ ඔලුටොයින් මහතාගේ ආරාධනයෙන්, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්කේ දෝවන් මහතා විසින් “සාගරික ආරක්ෂාව සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී නිර්මිතයන් ගොඩනැගීම හා එක්ව කටයුතු කිරීමේ ඇති වැදගත්කම” යන මාතෘකාව ඔස්සේ ප්‍රථම දේශනය පැවැත්විය. එහි දෙවන දේශනය චීන මහජන විමුක්ති නාවික හමුදාවේ නැගෙනහිර බලඝණයේ නියෝජ්‍ය ප්‍රධානී රියර් අද්මිරාල් ගු ෂියෑන් බින්ග් මහතා විසින් “සාගරික ආරක්ෂාව හා අන්න්‍යෝන්‍ය සමෘද්ධිමත් බව මූලික කරගත් සාමූහික ප්‍රවේශය හා ඒ සඳහා චීනයේ කාර්යභාරය” යන මාතෘකාව ඔස්සේ සිය දේශනය පවත්වන ලදී. ඉන්දීය නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) අරුන් ප්‍රකාශ් මහතාගේ අදහස් දැක්වීමකින් පසුව පළමු දින දෙවන සැසිය ආරම්භ වූ අතර, එහිදී ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ බටහිර පැසිෆික් සැපයුම් ඒකක ආඥාපති, රියර් අද්මිරාල් චාර්ලස් විලියම්ස් මහතා “සාගරික ආරක්ෂාව සඳහා සහයෝගී උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද ඉදිරි දැක්ම” යන මාතෘකාවෙන්ද, ජපාන නාවික හමුදාවේ මෙහෙයුම් ඇගයීම් අංශ ප්‍රධානී කපිතාන් නඔයා හෝෂි මහතා “එක්ව කටයුතු කිරීම තුළින් සාගරික ආරක්ෂාව කෙරෙහි ඇති අභියෝග අවමකර ගැනීම” යන මාතෘකාවෙන් ද දේශන ඉදිරිපත් කරන ලද අතර, “විනිවිදභාවයෙන් යුක්ත වූ ආරක්ෂක ව්‍යුහයක් තුළින් ඉන්දියානු සාගරයේ අභියෝග සහ ඉඩප්රස්ථා ජයගැනීම” යන මාතෘකාව ඔස්සේ පකිස්ථාන නාවික හමුදාවේ නියෝජ්‍ය නාවික ප්‍රධානී (පුහුණු හා ඇගයීම්) රියර් අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් මහතා විසින් පලමු දින අවසන් දේශනය පැවැත්විය.








