චීන නාවික හමුදාවට අයත් නෞකා තුනක් කොළඹ වරායට පැමිණේ
චීන නාවික හමුදාවට අයත් “ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන නෞකාවන් අද දින (17) කොළඹ වරායට සේන්දු විය. සුහද සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගන්නා ලදී.
නෞකාවන්හි කාර්ය බලකා අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන දකුණු චීන නෞකා බලඝනයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් “යූ මැන්ජියැන්ග්” හා නෞකා අණදෙන නිලධාරීන් හෙට දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට නියමිතය.
ද්විපාර්ශ්වීය මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් වැලිසර නාවික කඳවුරේදී නැව් මුළුව හා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් අතර සුහද පැසිපන්දු සහ පාපන්දු තරඟ කිහිපයක් පැවැත්වීමට ද නියමිතව ඇත. මෙම නෞකාවන් ජනවාරි මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.



