නාවික හමුදාධිපති ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමදෝරු එල්එම් හඳුන්ගේ මහතාද එම අවස්ථාව සඳහා එක්විය.
එහිදී නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපතිතුමා, මෙරට භෞමික අඛණ්ඩතාවය සුරැකීම පිණිස මෙන්ම තිරසාර සංවර්ධනය සඳහාද ධනාත්මක දායකත්වයක් දක්වමින්, තම ක්‍රීඩා කෞශල්‍යයන් පවා නිරන්තරයෙන් දියුණු කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර තලයේ සුවිශේෂී දක්ෂතා දක්වන ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයින් මෙරටට ගෞරවයක් අත්කර දීමට සමත්ව සිටීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කරන ලදී. සිය නිරීක්ෂණයේදී සියළුම අංශයන්ගේ සරඹ විලාශයන් ඉතා ඉහල මට්ටමක තිබූ බව පැවසූ නාවික හමුදාධිපතිතුමා වාර්ෂික ස්වේච්ඡා නාවික හමුදා පුහුණු කදවුරකදී එවැනි විශිෂ්ඨ අංශ පිරික්සුමක් දැක ගැනීමට ලැබීම පිළිබදව එහිදී සිය ප්‍රසාදය පළකර සිටින ලදී. ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කදවුරෙහි අවසන් දින උත්සවය විචිත්‍රවත් වාදන සහ සංස්කෘතික සංදර්ශනයකින් සමාප්ත විය.
ක්‍රියාන්විත රාජකාරීන් සඳහා යොදවනු නොලැබූ ස්වේච්ඡා නාවික හමුදාවේ නාවිකයන්ගේ දැනුම සහ කුසලතාවයන් යාවත්කාලීන කිරීම සඳහා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුර පවත්වනු ලබන අතර, එය නාවික හමුදාධිපතිතුමාගේ අංශ පිරික්සුමකින් සහ ආචාර පෙළපාලියකින් නිමාවට පත් වනු ලබයි. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ජාතික හදිසි අවස්ථාවන්හිදී සහ ව්‍යසනයන්හිදී විශේෂඥ දැනුම හා පිරිස් බලය ලබා දීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින නාවික හමුදා පුහුණුව ලබා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානතම බළකායයි. එය නාවික හමුදාවට පවරා ඇති කාර්යයන් ඉටුකිරීම සඳහා නිත්‍ය නාවික බළකායට ආධාර සහ අවශ්‍ය සහාය ලබා දේ.























