68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය
කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි. සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ආගමික නායකයින්, ගරු අග්‍රාමාත්‍යතුමන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති හා රජයේ නිලධාරීන් එම අවස්ථාව සඳහා සහභාගී විය. “එකම දැයක් මහ බළයක්” යන තේමාව යටතේ මෙවර පැවති නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීම සඳහා දිවයිනේ නන් දෙසින් ඉතා විශාල ජන පිරිසක් සහභාගී වූ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද ඒ අතර විය.
අතිගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදා වාද්‍ය වෘන්දය මගින් ලබා දෙන මගුල් බෙර වාදනය සහ සක් හඬ මධ්‍යයේ ජාතික ධජය එසවීමත් සමග ජාතික නිදහස් දින සැමරුම් උළෙල ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශයේ නාවිකයන් විසින් සිදු කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සිය දෙනෙකු විසින් නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ වාදනයට අනුව ජාතික ගීය ගායනා කිරීම සිදු කරන ලදී.
ආචාර වෙඩි මුර 21 කින් ගෞරව දැක්වීමෙන් පසු සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතිය අමතන ලදී.
නිදහස් දින උළෙලේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කොමදෝරු සුමිත් වීරසිංහ පෙර ගමන් රථයේ ගමන් කරනු ලැබූ අතර, කොමාණ්ඩර් කෝසල විජේසූරිය විසින් නාවික හමුදා ඛණ්ඩයට අණදීම සිදු කරන ලදී. නාවික හමුදා පෙළපාලිය, මූලස්ථාන බලඝණය, නාවික දියත් විධානය, විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සහ කාන්තා නාවික යන බලඝණයන්ගෙන් සැදුම්ලත් අංශ 5 කින් සමන්විත විය. නිදහස් උළෙලේ ආචාර පෙළපාලියට නීල, ශ්වේත සහ වෙස්වලා ගැනීමට යොදා ගන්නා සංග්‍රාමික නිල ඇඳුමින් සැරසුනු නාවික පුද්ගලයන් 650 දෙනෙකු එක් වුණු අතර, නාවික හමුදා වාදක කණ්ඩායමේ රණ ගී වාදනයට අනුව ඔවුන් උදාර ලෙස පෙළපාලියේ ගමන් කරන ලදී. ජාතියට ලබා දෙන විශිෂ්ඨ සේවය අගයමින් නාවික හමුදා මූලස්ථානය, නැගෙනහිර, උතුරු, දියත් විධානයන්ට සහ නාවික හා සාගරික විද්‍යාපීඨයට පිරිනමන ලද ජනාධිපති වර්ණ මහත් අභිමානයෙන් යුතුව රැගෙන යමින් නාවික හමුදාව එම පෙළපාලියේදී තම ප්‍රෞඩත්වය විදහා පාන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම අංශයන් නියෝජනය කරමින් නාවික හමුදා මූලස්ථාන බලඝණය ආචාර පෙළපාලියේ පෙරමුනින් ගමන් කළ අතර, ලුතිනන් කොමාණ්ඩර් බුද්ධික සම්පත් විසින් ඒ සඳහා අණදෙනු ලැබිණි. බාහිර සතුරු උවදුරු වලින් සහ සාගරික ත්‍රස්තවාදයෙන් දේශය ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කළ නාවික හමුදා දියත් විධානයේ නෞකාවන් හා යාත්‍රාවන් නියෝජනය කරන 4 වන වේග ප්‍රහාරක මුරයාත්‍රා බලඝණය සහ වේග ප්‍රහාරක නෞකා බලඝණයට අයත් නාවිකයන් ලුතිනන් කොමාණ්ඩර් ලක්රුවන් ජිනසේන ගේ නායකත්වය යටතේද, “විකුමතියට භාග්‍ය ප්‍රසාදිනිය වේ” යන ආදර්ශ පාඨය යටතේ මහ සයුරේ මෙන්ම ගොඩබිමෙහි හා ගුවනේ සුවිශේෂී සංග්‍රාමික සටන් ක්‍රම පිළිබඳ විශිෂ්ඨයන් වන, සතුරු ඉලක්ක විනාශ කිරීමේ පුරෝගාමීන් වූ විශේෂ යාත්‍රා බලඝණය ලුතිනන් කොමාණ්ඩර් තිස්ස කුමාර ගේ නායකත්වය යටතේද, “විජයග්රහනය අනන්තයට ඔබ්බෙන්” යන්න ආදර්ශ පාඨය කරගත් මුහුණට මුහුණලා සිදු කෙරෙන මුහුදු සංග්රාමයන්ගෙන් නිපුණ, සාම්ප්‍රදායික නාවික සංග්රාමයන්ට කුඩා යාත්‍රා සංකල්පය හඳුන්වා දුන් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය ලුතිනන් කොමාණ්ඩර් ප්‍රියශාන්ත වික්රමාරච්චිගේ අණදීමෙන් සහ වෛද්‍ය, සංඥා, සැපයුම් හා තොරතුරු තාක්ෂණ යන අංශවල මෙන්ම ක්‍රියාන්විත රාජකාරී වල යෙදෙමින් දේශයට මහඟු සේවාවක් ඉටු කළ කාන්තා නාවිකයන්ගේ බලඝණය ලුතිනන් කොමාණ්ඩර් නදීකා විජේකෝන් යටතේ ද නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා එක් විය.
නිදහස් දින සැමරුම් උත්සවයට විචිත්‍රවත් බවක් එක් කරමින් සිදු කෙරුණු පැරෂුට් සංදර්ශණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා ධජය රැගෙන ලුතිනන් කොමාණ්ඩර් ධර්මසිරි හේරත් එක්වුණු අතර, ලුතිනන් කොමාණ්ඩර් ප්‍රසාද් වීරසූරිය සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී ජගත් ශ්‍රී ලාල් සමගින් අඩි 6000ක උසක සිට පනිමින් ඔවුන් ගාලු මුවදොර පිටියට පතිත විය.
නාවික හමුදාව සතු විශාලතම නෞකාවක් වන සමුදුර නෞකාව පෙරටුකොට ගනිමින්, භට පිරිස් හා භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ශක්ති නෞකාව ද, වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් වන නන්දිමිත්ර සහ සුරනිමල නෞකාවන් ද, වේග ප්‍රහාරක නෞකාවන් වන ප්‍රතාප හා රණජය යන නෞකාවන් ද, රත්නදීප සහ මිහිකත යන මුර නෞකාවන් ද ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදේ නිශ්චිත රටාවකට අනුව යාත්‍රා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සිය ආචාරය පුද කරන ලදී.





























