ඉන්දියාවේ පැවැත්වෙන 2016 ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති දිවයිනෙන් පිටත්ව යයි
පෙබරවාරි මස 4 වන දින සිට 8 වන දින දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (5) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී. නැගෙනහිර ඉන්දියාවේ විශාකපට්නම් වෙරළ තීරයේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර නෞකා පිරික්සුමේ ප්‍රධාන අදියර සඳහා විදෙස් නාවික ප්‍රධානීන් 24 දෙනෙකු සහභාගීවීමට නියමිතව ඇත. ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයේ සත්කාරකත්වයෙන්, අන්ද්‍රා ප්‍රදේශයට නුදුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව සිදු කෙරෙන මෙම ජාත්‍යන්තර නෞකා පිරික්සුමේ ප්‍රධාන අදියර සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50ක නාවික හමුදාවන් ද එක්වීමට නියමිතය.
මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර නෞකා පිරික්සුම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නෞකාව වන සයුර නෞකාව සමග නිලධාරීන් සහ නාවිකයින් 275 දෙනෙකු සහභාගී වේ. මේ සඳහා අනෙකුත් නාවික හමුදාවන් නියෝජනය කරමින් යුද නෞකා 24ක් ඇතුළු නෞකා 90කට වැඩි සංඛ්‍යාවක් ද, “හෝක්” ප්‍රහාරක ජෙට් යානා ඇතුළු විවිධ වර්ගයේ හෙලිකොප්ටර් යානා 75කට වැඩි සංඛ්‍යාවක් ද සහභාගී වේ. මෙම ජාත්‍යන්තර නෞකා පිරික්සුමේ පළමුවැන්න 2001 වර්ෂයේ මුම්බායි හි දී පැවැත්වුණු අතර, මෙවර එය පැවැත්වෙන්නේ දෙවැනි වරටයි.
සන්නද්ධ හමුදා උත්තරීතර ආඥාපතිවරයා වන ඉන්දීය ජනාධිපති ගරු ප්රනාබ් මුකර්ජි මහතා, ජනාධිපති යාත්‍රාව වන ඉන්දීය නාවික නෞකා සුමිත්‍ර නෞකාවේ නැගී අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වන අතර, නාවිකයින් 150 දෙනෙකු විසින් ජනාධිපතිතුමන් වෙත උත්තමාචාරයක් ද එහිදී පිරිනමනු ඇත. නෞකා පිරික්සුමට සහභාගී වන ප්‍රභූ ආරාධිතයින් සය පෙළකින් ස්ථානගත වන ඉන්දීය සහ විදේශීය නෞකාවන් පිරික්සීම සිදු කරනු ඇත. “සමුදුරු තුළින් නාවික හමුදාවන් එක්සත් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පැවැත්වෙන අන්තර්ජාතික නෞකා පිරික්සුම් අභ්‍යාසය තුළින් රටවල් රාශියක් මිත්‍රත්වයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා විසින් මෙම නෞකා පිරික්සුමට සහභාගී වන අමුත්තන් ඇමතීමට නියමිත අතර, ඉන්දීයාවේ සාගරික උරුමය පිළිබඳව ලියැවුනු ග්රන්ථයක් ද එහිදී ගරු අග්‍රාමාත්‍යවරයා අතින් එළි දැක්වීමට නියමිතය. නාවික ක්ෂේත්රයේ ව්‍යවසායකයින්ගේ හැකියාවන් පිළිබිඹු කරමින් පැවැත්වීමට නියමිත සාගරික ප්‍රදර්ශනය අන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍යවරයා වන ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මැතිතුමන් විසින් විවෘත කරනු ඇත. තවද මීට සමගාමීව “සුරක්ෂිත සාගරික අනාගතයක් සඳහා එක්ව කටයුතු කිරීම” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත දෙදින අන්තර්ජාතික සාගරික සම්මන්ත්රනය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ගරු මනෝහර් පරික්කාර් මැතිතුමන් විසින් විවෘත කරනු ඇත. පෙබරවාරි මස 08 වන දින සංධ්‍යාවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාදක කණ්ඩායම හා සංස්කෘතික කණ්ඩායමද සහභාගී වන අන්තර්ජාතික විවිධ ප්‍රසංගයකින් සමන්විත අති උත්කර්ශවත් සමාප්ති උළෙලකින් මෙම අන්තර්ජාතික නෞකා පිරික්සුම නිමාවට පත්වීමට නියමිතය.
අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වන ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර්කේ දෝවන් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ජා පැවැත්වීමට ද නියමිත අතර, ඔහු මුලසුන දරණ පුවත්පත් සාකච්ජාවකට ද එහිදී සහභාගී වනු ඇත. ඉන්දීය ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිල ප්‍රිය සම්භාෂණයකට ද නාවික හමුදාධිපතිතුමන් සහභාගී වීමට නියමිතය.





















