ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
ජපාන නාවික හමුදාවට අයත් “යූඩාචි” හා “යූගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය.
ජපන් නාවික හමුදාවේ හත්වන ආරක්ෂක ඒකක අණදෙන නිලධාරී කපිතාන් “ටකාෂි ඉනෝව්” සහ නෞකා ද්විත්වයේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් “ටුමෝවා බාබා” සහ කොමාණ්ඩර් “ටුමොව්කි සසේ” යන නිලධාරීන් අද (24) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවිය. මෙහිදී ද්විපාර්ශිකව වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද සාකච්ඡාවක නිරතවුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් “මොටොට්ෂුගු ශිගෙකාවා” මහතා ද එම අවස්ථාව සඳහා සහභාගී විය.
මාර්තු මස 25 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත මෙම නෞකාවන්, වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් නාවික හමුදාව සමග කෙටි නාවික අභ්‍යාසයක නිරතවීමට ද නියමිතය.








