34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (31) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචාර දැක්වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සමුදෙනු ලැබිණි. 1981 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති ඒ මහතා සාගරික ඉංජිනේරු අංශ නිලධාරියෙකු වශයෙන් පුහුණුව ලබා විවිධ නිලතල දරමින් ආයතන සහ නෞකා රාශියක සේවය කර ඇත. දෙස් විදෙස් පාඨමාලාවන් හදාරා ලැබූ දැනුම තුළින් නාවික හමුදා ඉංජිනේරු අංශය වෙනුවෙන් ඔහු ඉටු කර ඇති සේවය ඉතා විශිෂ්ඨ වේ. පරිනත නිලධාරියෙකු ලෙස එතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සිය මාතෘ භූමියටත් ඉටු කර ඇති සේවය සදා ඇගයුමට ලක්වනු ඇත.
රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වූ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ධූරයට අභිනව නිලධාරියා වශයෙන් රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා පත් කෙරුණු අතර, ඔහු අද සිය ධූරයේ වැඩ භාර ගැනීම ද මීට සමගාමීව සිදු විය. .












