සාම්පූර් මහා විද්‍යාලය නැවත ලබාදුන් නාවික හමුදාවට ශ්‍රී ලංකා එක්සත් දමිළ ගුරු සංගමයේ ප්‍රශංසාව
සාම්පූර් නාවික කඳවුරට අයත් භූමි ප්‍රදේශයේ ස්ථාපිතව තිබුණු සාම්පූර් මහා විද්‍යාලය, ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් නැවත ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා දමිළ එක්සත් ගුරු සංගමය නාවික හමුදාවට සිය ස්තූතිය පිරිනමා ඇත. විද්‍යාලය නැවත භාරදීමේ දී එහි ගොඩනැගිලි සහ වටපිටාව දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට උපකාරයක් වන අයුරින් උසස් ලෙස ප්‍රතිසංස්කරණය කර දීම හා එහි තිබූ ගෘහ භාණ්ඩ ඇතුළු සියලු දේපල නියමාකාරයෙන් නැවත භාරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දමිළ එක්සත් ගුරු සංගමයේ සභාපති, වී.ආර්. සහදේවරාජා මහතා විසින් නාවික හමුදාව වෙත සිය විශේෂ ස්තූතිය පුද කර ඇත.
විපක්ෂ නායක හා දෙමළ ජාතික සංධානයේ නායක ගරු ආර්. සම්බන්ධන් මැතිතුමන් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික අමාත්‍ය ගරු ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමාගේ මැදිහත්වීම යටතේ රාජ්‍ය නායකයින්ගේ අනුග්‍රහය මත සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් අක්කර 177ක් නැවත එහි මුල් පදිංචිකරුවන්ට භාර දීම පසුගියදා සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අධි ආරක්ෂිත කලාපයේ පිහිටුවා තිබූ සාම්පූර් මහා විද්‍යාලය නැවත පාසල් කළමණාකාරීත්වයට භාරදීම සිදු කෙරිණි.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් මත නාවික හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 177ක් ඒවායේ නියම අයිතිකරුවන් වෙත භාර දීම සිදු කෙරුණු මෙම අවස්ථාවට, විපක්ෂ නායක ගරු ආර් සම්බන්ධන් මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික අමාත්‍ය ගරු ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු නසීර් අහමඩ් මැතිතුමා, නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්, මුතූර් ප්‍රාදේශීය ලේකම් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී විය.
මෙම උත්සවයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට විද්‍යාලයේ සිසු දරුවන්ගෙන් සහ ආචාර්ය මණ්ඩලයෙන් ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි. සාම්පූර් මහා විද්‍යාලය නැවතත් සිසු දරුවන්ට ලබාදුන් මෙම මහඟු කර්තව්‍යයට අමතරව, නාවික හමුදාව සාම්පූර් හින්දු කෝවිල ද ප්‍රතිසංස්කරණය කර දීමට පියවර ගෙන ඇත.









