හෙරොයින් කිලෝ 101 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට (මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද විශාලම තොගයයි)
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකින් දකුණු මුහුදේ දී මෙරටට ගෙන එමින් සිටි හෙරොයින් කිලෝග්‍රෑම් 101 ක් අත්අඩංගුවට ගන්නා ලදී. පෙරේදා (30) මෙම තොගය අත්අඩංගුවට ගන්නා ලද අතර, මෑත ඉතිහාසයේ මුහුදේදී අත්අඩංගුවට පත් විශාලම මත්ද්‍රව්‍ය තොගය බව සඳහන් වේ. දින දෙකකට පෙරාතුව මෙකී මෙහෙයුම දියත් කළ ද තව දුරටත් මෙයට සම්බන්ධ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කෙරේ.
මහා පරිමාණ වශයෙන් සිදු කෙරුණු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාවේ නියෝජිතයන් හා එක්ව පාකිස්තානය හා ඇෆ්ඝනිස්තාන ජාතිකයින් විසින් පවත්වාගෙන ගිය එකක් බව දැනට තොරතුරු හෙළිවී ඇත. පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට රැගෙන එන මෙම මත් ද්‍රව්‍ය දකුණේ ධීවර කටයුතු වල යෙදී සිටින මුවාවෙන් එයට සම්බන්ධ නියෝජිතයන් විසින් බහුදින යාත්‍රා උපයෝගී කරගෙන ශ්‍රී ලංකාව තුළට රැගෙන එන බවත්, ඒවා දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට රැගෙන එන බවත්, කොළඹ දී ප්‍රධාන වෙළද නියෝජිතයන් වෙත බෙදාහරින ලද අති විශාල මට්ටමින් සංවිධානය වූ කූඨ ජාවාරමක් බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශය හා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු ඔස්සේ පසුගිය 30 වන දින දකුණු මුහුදේ මෙම මෙහෙයුම දියත්කොට ඇත. මේ සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්ර, ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා කීපයක් සහභාගී විය. එහිදී එම ජාවාරම්කරුවන්ට අයත් විදේශීය යාත්‍රාවක්, එහි සිටි පාකිස්තාන ජාතිකයෙක් හා තවත් ඉරාන ජාතිකයන් දස දෙනෙක් (10) ද අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. කිලෝග්‍රෑම් 100 ක ප්‍රධාන මත්ද්‍රව්‍ය තොගය වෙනම පැවති අතර, තවත් ස්ථානයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක් (1 kg) ද මෙතෙක් හඳුනා නොගත් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ක් (1 kg) ද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොලීසිය විසින් රඳවා තබා ගනිමින් මෙම ජාවාරමේ සෙසු හවුල්කරුවන් කවුරුන්ද යන්න පිළිබදව තොරතුරු දැන ගැනීමටත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් සිටී.
වත්මන් ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “මතින් තොර රටක්” වැඩසටහන යටත් නාවික හමුදාව සතුව පවතින ප්‍රධාන කාර්යය වන්නේ, වෙනත් රටවල් වලින් මෙරටට මත් ද්‍රව්‍ය රැගෙන ඒම මැඩ පැවැත්වීමයි. ඒ අනුව දකුණු මුහුදු තීරයේ ගැඹුරු මුහුදේ දින ගණනාවක් තිස්සේ ඉතාමත් දුෂ්කර මුහුදු තත්ත්වයන් වල පවා මහ මුහුද මැද රැදී සිටිමින් තම වගකීම මැනවින් ඉටු කිරීමට නාවික හමුදාව සමත්ව ඇත. තවද, ඉතිහාසයේ අන් කවරදාක හෝ මහ මුහුදේදී මේසා විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා නොවීමද විශේෂත්වයකි.





