225 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 328 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 225 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 328 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමාවට පත් කරමින් අද (2) විසිර යන ලදී. පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී පවත්වන ලද එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා සහභාගී විය. උතුරු මැද නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු උපුල් ද සිල්වා, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ආඥාපති කපිතාන් අසංග රණසූරිය ඇතුලු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද එම අවස්ථාව සඳහා සහභාගී වූහ.
ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය ආකර්ශණිය සරඹ සංදර්ශණයකින්ද සමන්විත විය. තම මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් හට කුසලාන ප්රදානය කිරීමද එහිදී සිදු කෙරිණි. ඒ අනුව, 225 වන බඳවාගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නැවි එච්පීඑන්බී ප්‍රේමචන්ද්‍ර සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නැවි කේඒඑච්එස් ජයකොඩි කුසලාන හිමිකර ගන්නා ලදී. ආධුනික නැවි එල්ඩබ්එල්එම්ඩී ලොකුවිතාන හොඳම වෙඩික්කරුට හිමි කුසලානයද, ආධුනික නැවි ඩබ්එම්එස්එම් දබරේරා හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානයද දිනාගත් අතර, උදාර අංශය හොඳම අංශය ලෙසින් ත්‍යාග හිමි කර ගන්නා ලදී.
විසිර යන නාවිකයින් ඇමතූ රියර් අද්මිරාල් ගුණවර්ධන මහතා පවසා සිටියේ, දූපත් රාජ්‍යයක් වශයෙන් අප මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් නාවික හමුදාව සතු බවත්, දශක 3 කට අධික කාලයක් අප මාතෘ භූමිය වෙලා සිටි රුදුරු කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා තාක්ෂණයෙන් පිරිපුන් වෘත්තීමය හමුදාවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදේ දී මෙන්ම ගොඩබිමේ දී සිදුකළ මෙහෙයුම් මහත් සේ ඉවහල් වූ බවත්ය. එවන් වූ කාර්යශූර නාවික හමුදාවකට එක් වූ ඔබ සියළු දෙනාගේම වගකීම විය යුත්තේ අප සැම භුක්ති විඳින මේ සැබෑ නිදහස අනාගත පරපුරට ද දායාද කිරීම බව ද, නිදහස් වූත් නිවහල් වූත් මෙම දේශයේ යලිත් එවන් ත්‍රස්තවාදී උවදුරක් බිහිවීමට ඉඩ නොතබා ආරක්ෂා කර ගැනීමටත් රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් වීමේ මහඟු කර්තව්‍යයන්ට සෘජුවම දායකවීම, තම වගකීම් බව මනාව වටහා ගනිමින් කාර්යයශූර විනයගරුක නාවිකයෙකු ලෙස මව්බිමට විශිෂ්ඨ සේවයක් ලබා දීමට අදිටන් කරගත යුතු බවය.
සාර්ථක පුහුණුවකින් පසුව අද දින විසිර යන නාවිකයින්, තමන් උගත් න්‍යයාත්මක සිද්ධාන්තයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙන් හා නාවික හමුදාවේ උසස් සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් මාතෘභූමියේ ඒකීයභාවය උදෙසා කැපවිය යුතු බවත් ආත්ම විශ්වාසයෙන් යුතුව නාවික හමුදාවේ ගෞරවය සහ උත්තරීතර භාවය රැකෙන පරිදි ඉතා උසස් අන්දමින් හා මනා ශික්ෂණයකින් යුතුව ලක් මාතාවට සේවය කිරීමට අදිටන් කර ගන්නා මෙන් ද සඳහන් කර සිටි එතුමන්, යුද්ධය නිමා කර අප රට ඉදිරියට යන මෙවන් යුගයක අනාගත පරපුර වෙනුවෙන් තම මව්බිම ආරක්ෂා කර ගැනීමට හා රට ජාතියේ අනාගතය දීප්තිමත් කිරීමේ යුග මෙහෙවරට උරදීම සඳහා තම ආදරණීය දරුවන් දිරිගන්වමින් නාවික හමුදාවට දායාද කලාවූ දයාබර දෙමාපියන්හට නාවික හමුදාධිපති වෙනුවෙන් සිය ගෞරවය හා ප්‍රණාමය පුද කරන බවද එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

















