නාවික හමුදා සාගරික කයක් ගවේශණ කණ්ඩායම ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරයි
නාවික හමුදාවේ කයක් ගවේශණ කණ්ඩායම 2016 පෙබරවාරි මස 19 වන දින යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් දූපතේ දී කිලෝමීටර් 1251 ක දුරක දිවයින වටා යාත්‍රා කිරීම ආරම්භ කරන ලද අතර, බස්නාහිර, දකුණ, නැගෙනහිර හා උතුරු මුහුදු තීරයන් ඔස්සේ අති දුෂ්කර හා වෙහෙසකර යාත්‍රා කිරීමකින් පසු ඊයේ (2) කරෙයිනගර් වෙරල තීරයේදී සිය මුහුදු ගවේශණය ඉතා සාර්ථකව නිම කරන ලදී. මෙම කර්තව්‍යයේ නිමාව සනිටුහන් කරන අවස්ථාවේ ඔවුන් විසින් සිදු කරන ලද මෙම මහඟු කර්තව්‍ය වෙනුවෙන් සිය හෘදයාංගම සුභාෂිංසන එක් කිරීම සහ දිරිගැන්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එම අවස්ථාවට එක් විය. බටහිර සහ නැගෙනහිර මෝසම් සුළං නොමැති කාල වකවානු තුලදී මෙම ක්‍රියාදාමය සිදු කිරීමට සැළසුම් කර තිබීම හේතුවෙන් එහි විශිෂ්ඨ ප්‍රථිපල අත්කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
නාවික හමුදා අධ්යක්ෂ නාවික පුහුණු සහ රුවල් හා පැදි යාත්‍රා සංචිතයේ සභාපති, කපිතාන් (කිමිදුම්) ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් විශේෂ යාත්‍රා බළඝණයේ ලුතිනන් කොමාණ්ඩර් ඩීජීකේජීටී කුමාර හා සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඒඩබ්ලිව්ජීපී සම්පත් යන නාවික පුද්ගලයන් එම කර්තව්‍ය සඳහා සහභාගී විය. මෙම ක්‍රියාදාමය විවිධ අධියරයන් යටතේ ක්‍රියාත්මක වූ අතර, ඉන් එක් අධියරක් ලෙස දුෂ්කර සාගරික මෙහෙයුම් වලට මුහුණ දීම සඳහා විශේෂ යාත්‍රා බළඝණ නාවිකයින් හට පුහුණුවක් ලබා දෙන ලදී.
ඉතා දුෂ්කර වූ මුහුදු තත්වයන් තුල දැවැන්ත මුහුදු රළ අතරින්, දැඩි හිරු රශ්මිය හා පාරිසරික උෂ්ණත්වය හමුවේ පැය ගණනාවක් ඔවුන් තම ධෛර්යය හා නොපසුබට උත්සාහ හමුවේ මෙම සාගර යාත්‍රාව සාර්ථකව නිමා කර ගැනීමට සමත් වී ඇත. සාගරය ආශ්‍රිතව සිදුකරන කයක් ඔරු පැදීමේ ක්‍රීඩාව සඳහා ඉතා ඉහළ විඳඳරා ගැනීමක් තිබිය යුතු අතර, දුෂ්කර සාගරික මෙහෙයුම් වලට මුහුණ දීම සඳහා ඉතා හොඳ පුහුණුවක් ද මෙතුළින් ලබා ගත හැකි වේ. ශ්‍රී ලංකාව තුළ මෙය ඉතා අවම ව්‍යාප්තියත් පෙන්නුම් කළ ද බොහෝ වෙරළාශ්‍රිත රටවල් සාගරික "කයක්" ඔරු පැදීමේ ක්‍රීඩාව සංචාරක ප්‍රවර්ධනය හා විනෝද ක්‍රීඩාවක් ලෙස පුළුල් යටිතල පහසුකම් සපයමින් පවත්වාගෙන යයි.













