ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දක්වයි
ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය දින 6 ක නිල සංචාරයක් සඳහා ඊයේ (14) දිවයිනට පැමිණෙන ලදී. එහිදී ඔවුන් විසින් පළමුවෙන්ම, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට මල් කළඹක් තබා ශ්‍රී ලංකීය සාමය වෙනුවෙන් දිවි පිදූ ඉන්දීය රණවිරුවන් වෙත සිය ගෞරවය පුද කිරීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාව තුල සාමය ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය සාම සාධක හමුදා පුද්ගලයන් විසින් තම ජීවිත පූජා කරමින් සිදු කරන ලද ගෞරවණීය කැපකීරීමට උපහාර දැක්වීම සඳහා වයිස් අද්මිරාල් ලුත්‍රා මහතා සමග එම අවස්ථාවට බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසූරිය මහතා, කොමදෝරු නන්දන ජයරත්න මහතා, ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා, ඉන්දීය නාවික හමුදාවේ ටීර් සහ සුජාතා යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් සීආර් අයියාර් මහතා සහ කොමාණ්ඩර් එස් මුතුක්‍රිෂ්ණන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් සහ නාවික පුද්ගලයන් පිරිසක් ද එක්විය.








