ඉන්දීයානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
දින 6 ක නිල සංචාරයක් සඳහා පසුගිය 14 වන දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතා බහක නිරත වූ අතර, එම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් මෙන්ම පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා, වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවන්හි අණදෙන නිලධාරීන් වන කපිතාන් සීආර් අයියාර් මහතා, කොමාණ්ඩර් එස් මුතුක්‍රිෂ්ණන් මහතා, කොමාණ්ඩර්, බී රන්ජන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා ද සහභාගී විය.
ඉන් අනතුරුව, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් වෑත්තෑව මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සහ පුහුණු කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස දැනුවත් කිරීම සඳහා සවිස්තරාත්මක දේශණයක් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද එහිදී සිදු කෙරිණි.











