26 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සාගර නෞකාවේදී පවත්වයි
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (28) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සාගර හිදී පවත්වන ලදී.
උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් කොමදෝරු කස්සප පෝල් මහතා ඇතුළු නිලධාරීන් 9 දෙනෙකු එක්ව සිටියහ. ඉන්දීය නියෝජිතයින් පිරිසට රියර් අද්මිරාල් ආලෝක් භාත්නගර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 8 දෙනෙකු සහභාගී වූ අතර, දෙපිරිසෙහිම නිලධාරීන් විවිධ අංශයන්හි විශේෂ සුදුසුකම් සහිත අයවලුන් වේ. මෙම වාර්ෂික සමුළුව, දෙරටෙහි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබයි. 26 වන වරටත් පවත්වන ලද මෙම සමුළුවේදී, අන්තර් සහයෝගීතාවය තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





