නීති විරෝධී ක්‍රම යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයේ පී 4445 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයින්, චලෙයි ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මැයි මස 07 වන දින සමත් විය. එහිදී ඩිංගි යාත්‍රා 2ක් සමඟ මුහුදු කූඩැල්ලන් 150 ක්, ඔක්සිජන් ටැංකි 20ක්, කිමිදුම් පාවරල් යුගල් 4 ක් හා කිමිදුම් මුහුණු ආවරණ 4ක් ද නාවික හමුදා අත්අඩංගුවට පත් විය. ඉදිරි විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා අනෙකුත් විෂයයන් මුලතිව් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
තවද, ගිණිකොන නාවික විධානයේ පී 483 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයින් විසින් ලද තොරතුරක් මත අක්කරෙයිපත්තු මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් සිව් දෙනෙකු මැයි මස 08 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් පාවරල් යුගල් 3ක්, කිමිදුම් මුහුණු ආවරණ 3ක්, මුහුදු කූඩැල්ලන් 107ක් හා මත්ස්‍ය කිලෝග්‍රෑම් 25ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා අඩ්ඩලච්චේන ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.








