ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
ජපාන නාවික හමුදාවට අයත් “උරගා” සහ “ටකාෂිමායාඑයාමා” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (11) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
එහිදී, ජපන් නාවික හමුදාවේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ 51 වන ඒකකයේ අණදෙන නිලධාරී කපිතාන් ටොෂිහිරෝ ටකයිවා, නෞකා ද්විත්වයේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් ෂුනිචිරෝ කාචි සහ ලුතිනන් මසනෝරි නකායි යන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. මෙහිදී ද්විපාර්ශිකව වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද සාකච්ඡාවක නිරතවුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් මොටොට්ෂුගු ශිගෙකාවා මහතා ද එක්විය.
මෙම සංචාරය අතරතුරදී දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව එම නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද බේස්බෝල් තරඟාවලියකටද සහභාගී වීමට නියමිත අතර, එම නෞකාවන් ද්විත්වය මැයි මස 14 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.














