මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක නිලධාරීන් හට නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක බලකා නිලධාරීන් හට විශේෂ පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. ත්රිකුණාමළය සහ මිරිස්ස මූලික කරගනිමින් සිදු කරන මෙම විශේෂ පුහුණුව යටතේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය විසින් ත්රිකුණාමළයේදීත්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මිරිස්ස පුහුණු මධ්‍යස්ථානයේදීත් ඔවුනට පුහුණුව ලබාදීම ආරම්භ කර ඇත. නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්රමෝපායන් පිළිබඳවත් (Visit Board Search and Seizure - VBSS) කොමරොස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බලකායේ හය දෙනෙකු වෙත සහ මැඩගස්කර නාවික හමුදාවේ හය දෙනෙකු වෙත මෙහිදී පුහුණුව ලබාදීම සිදු කරන අතර, මැඩගස්කර කණ්ඩායමට පරිවර්තක නිලධාරියෙකු ද ඇතුළත් වේ. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ නිර්දේශය මත සිදු කෙරෙන එම පුහුණුව, මැයි මස 03 වන දින සිට 28 වන දින දක්වා පැවැත්වේ. නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයන් අවට මුහුදු තීරය පාදක කරගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හට එය ධනාත්මක ප්‍රවේශයක් වනු ඇත.
පසුගිය ඔක්තොම්බර් මස 13 වන දින එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව ඉන්දියානු සාගර කලාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වූ අතර, එම සම්මන්ත්‍රණයේ අවසන් දින විශේෂ යාත්‍රා බළඝණය හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ උසස් වෘත්තීය නිපුනත්වය ප්‍රදර්ශණය කරමින් මුහුදේ දී ක්ෂණිකව නෞකාවකට ප්රවිශ්ඨ වීම, සෝදිසි කිරීම හා මෙහෙයුම් සිදුකිරීම පිළිබඳව විදේශීය නියෝජිතයින් හමුවේ නිදර්ශනයන් ඉදිරිපත් කරනු ලැබිණි.
කොළඹ වරායේ දී සිදුකෙරුණු මෙම නිදර්ශණ අභ්‍යාසයේ දී, නෞකාවේ සිටින්නන් වික්ෂිප්තභාවයට පත්කරමින් එයට ක්ෂණිකව ප්රවිශ්ඨ වීම තුළින් මෙහෙයුම් සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳව පෙන්වා දෙනු ලැබිණි. එවන් අවස්ථාවල ක්ෂණිකව ක්‍රියාත්මක නොවීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම වාසියට යොදා ගන්නා ආකාරයත්, මෙහෙයුම් අසාර්ථකවීමට එය සෘජුව බලපාන බවත් පෙන්වා දෙනු ලැබිණි. එහිදී ප්‍රදර්ශණය කළ දක්ෂතාවයන් විදෙස් නියෝජිතයින්ගේ නොමද ඇගයුමට ලක් වූ අතර, මෙවන් විශිෂ්ඨයින් සහිත බළඝණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සතුවීමත්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නිපුනතාවයන් පිළිබඳවත් ඔවුහු සිය ප්‍රශංසාව පුද කළහ.
මෙම හැකියාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය හරහා පුහුණුවක් ස්වකීය නාවික හමුදාවන් හා වෙරළාරක්ෂක බලකා සෙබළුන් වෙත ලබාදෙන මෙන් ද එහිදී ඉල්ලීම් ඉදිරිපත් විය. එම ඉල්ලීම් වල ප්රථිඵලයක් ලෙස පළමු කණ්ඩායම වශයෙන් කොමරොස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බලකායේ පිරිසකට හා මැඩගස්කර නාවික හමුදාවේ පිරිසකට මෙම විශේෂ පුහුණුව ලබාදීම ආරම්භ කරන ලදී.














