ආරක්ෂක ලේකම්තුමා නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක
ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (20) නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එතුමන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
එහිදී, නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජල ගැල්මෙන් විපතට පත් වූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සැළසීමේ ක්‍රියා පටිපාටිය ආරක්ෂක ලේකම්තුමා විසින් නිරීක්ෂණය කරන ලදී. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා විසින් මේ වන විට දියත් කර ඇති මෙහෙයුම් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් ස්ථානගත කර ඇති ප්‍රදේශයන් පිළිබදවද, විපතට පත්වූවන් වෙනුවෙන් ආහාරපාන හා වෛද්‍ය පහසුකම් ලබා දීම මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි මෙවැනි මහා ජල ගැලීම් වලින් වන හානි අවම කර ගැනීම සඳහා නාවික හමුදාවට යොදා ගත හැකි නවීන තාක්ෂණික මෙවලම් සම්බන්ධයෙන් විස්තර කිරීමක් ද එහිදී සිදු කරන ලදී. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
පසුගිය දිනයන්හිදී පැවැති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව තවදුරටත් සහණ සළසමින් සිටී. මේ අනුව අද (20) වන විට පුද්ගලයන් 21,000 කට අධික පුද්ගලයන්ගේ ජීවිත බේරාගෙන ආරක්ෂිත ස්ථානයන් කරා ප්‍රවාහනය කිරීමටත්, ගංවතුර තර්ජන සහිත ප්‍රදේශයන්හි ජීවිතාරක්ෂක යාත්‍රා කණ්ඩායම් 105 ක් යෙදවීමටත් කටයුතු කර ඇත. මෙම ස්වාභාවික වියසනය හේතුවෙන් අවතැන්වූ පුද්ගලයන් 50,000 කට පමණ පිසූ ආහාර සහ පානීය ජල බෝතල් බෙදා දීමටද කටයුතු කර ඇත. එමෙන්ම පෑලියගොඩ ප්‍රදේශය අවට ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ජංගම වැසිකිළි පද්ධතීන් ස්ථාපනය කිරීමට සහ බවුසර් මගින් පිරිසිදු ජලය ඔවුන්හට බෙදා දීමට ද නාවික හමුදාව කටයුතු කර ඇති අතර, ජනතාවගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදා වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහයක නාවිකයන්විසින් විශේෂ වෛද්‍ය සායනයන්ද සිදු කෙරිණි.

















