ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ඉන්දීය නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් සට්ලේජ් සහ සුනයිනා වන නෞකාවන් දෙක අද (21) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව එම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
විදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Y.K සින්හා මහතා, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම ආධාර තොගය රැගත් නෞකාවන් ශ්‍රී ලංකාවට එවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා කටයුතු කර ඇත. ඒ අනුව ඊයේ (20) ඉන්දියාවේ කොචින් වරායේ සිට එම නෞකාවන් මෙරට බලා යාත්‍රා කර ඇති අතර, වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, කූඩාරම් සහ බෙහෙත් වර්ග නෞකාවන් මගින් රැගෙන එන ලදී. මෙවන් ස්වාභාවික ව්‍යසනයන් හමුවේ තම අසල්වැසි රාජ්‍යයට උපකාර කිරීමට ඉන්දීය රජය ඉදිරිපත් වීම දෙරටේ මිත්‍රත්වය සහ නාවික හමුදාවන් අතර පවතින අන්තර් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමක් ලෙස සඳහන් කළ හැකි අතර, එම සත්කාර්යයන් නිම කිරීමෙන් අනතුරුව ඉන්දීය නාවික නෞකාවන් මැයි මස 23 වන දින යළි දිවයිනෙන් පිටත්වීමට නියමිතය.























