නාවික හමුදාපතිතුමා සටනේදී මියගිය රණවිරුවන්ට සිය ආචාරය පුද කරයි
30 වසරක කුරිරු යුද්ධය නිමා කර වසර 7 ක් සපිරෙන අද (18) දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැලිසර නාවික හමුදා රණවිරු ස්මාරකය අභියසදී ඊට පුෂ්පෝහාර දක්වන ලදී. විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් සුරකිමින් අප මාතෘ භූමියේ නිදහස හා ඒකීයභවය උදෙසා සිය ජීවිත පුද කරන ලද නාවික රණවිරුවන්ට සිය කෘතවේදී ආචාරය පුද කිරීමට එහිදී එතුමා කටයුතු කෙරිණි.
යුදමය වාතාවරණය හමුවේ නාවික හමුදාව විසින් දියත් කරන ලද මෙහෙයුම් රැසකටම නායකත්වය සපයා අප මාතෘ භූමියට ස්ථීර සාමයක් උදාකරළීම සඳහා අවංක කැපවීමකින් යුතුව ක්‍රියාකළ දක්ෂ යුද සෙන්පතියෙකු වූ එතුමන්, රණවිරුවන් සිහිකිරීම සිදුකළේ තමන් ද රුදුරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා සක්රීයවම දායක වූවකු බව පසක් කරමිනි. දශක තුනක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකාව වෙලාගෙන තිබූ බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කර රටේ ජනතාවට නිදහස හා සාමය ගෙනදීම සඳහා රට වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද, සටනේදී තුවාල ලද හා අතුරුදහන් වූ රණවිරුවන් සිහි කිරීම සිදු කරන ලදී. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා සහභාගී විය.














