ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ආධාර රැගත් බංගලාදේශ නෞකාවක් කොළඹ වරායට පැමිණේ
ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් බංගලාදේශ නාවික හමුදාවට අයත් බංගබන්දු නෞකාව අද (5) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව එම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
රුපියල් මිලියන 200ක් පමණ වටිනා සහනාධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ අවස්ථාවට ආපදා කළමනාකරන අමාත්‍යංශයේ ලේකම් එස්එස් මියනවල මහතා, ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ටරික් අසාන් මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු අස්ලම් පර්වේස් මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
බංගලාදේශ අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ උපදෙස් මත ආධාර තොගය රැගත් නෞකාව ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර ඇත. ඒ අනුව පසුගිය (31) බංගලාදේශයේ චිතගොන් වරායේ සිට එම නෞකාව මෙරට බලා යාත්‍රා කර ඇති අතර, වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් හා ජල පෙරනයන්, විදුලි ජනක යන්ත්‍ර, කූඩාරම්,බෙහෙත් වර්ග සහ රෙදිපිළි නෞකාව මගින් රැගෙන එන ලදී. මෙවන් ස්වාභාවික ව්‍යසනයන් හමුවේ මෙරටට උපකාර කිරීමට බංගලාදේශ රජය ඉදිරිපත් වීම දෙරටේ මිත්‍රත්වය සහ නාවික හමුදාවන් අතර පවතින අන්තර් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමක් ලෙස සඳහන් කළ හැකි අතර, එම සත්කාර්යයන් නිම කිරීමෙන් අනතුරුව බංගලාදේශ නාවික නෞකාව ජූනි (8) වන දින යළි දිවයිනෙන් පිටත්වීමට නියමිතය.























