ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැළසීමට ඩයලොග් ආයතනය නාවික හමුදාව සමග අත්වැල් බැදගනී
ගංවතුරින් විපතට පත් ජනතාව මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ නාවික කුඩා යාත්‍රා කණ්ඩායම් කාර්යක්ෂමව නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ සිට මෙහෙයවීමට ඩයලොග් ආයතනය විසින් G.P.S තාක්ෂණය යොදා ගනිමින් සජීවීව නිරීක්ෂණය සහ සන්නිවේදනය කළ හැකි දත්ත හුවමාරු පද්ධතියක් නොමිලේ ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදී.
මෙම පද්ධතිය හරහා නාවික කුඩා යාත්‍රා කණ්ඩායම් 100 ක් කැළණි ගං මිටියාවතේ හංවැල්ලේ සිට තොටලග දක්වා ගංවතුර පවතින ප්‍රදේශවල ජාල ගත කර ඇති අතර, අසීරු ස්ථානවලින් සිරවී සිටින ජනතාව මුදවා ගැනීමට මෙය මනා පිටුවහලක් විය. ඩයලොග් ආයතනය මෙම මානුෂීය මෙහෙයුමට කැපවීමෙන් සහ උද්යෝගයෙන් සහාය දැක්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සමස්ථ නාවික හමුදාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය එම ආයතනය වෙත කෘතවේදීව පිරිනමන ලදී.








