පොල්පිතිගම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් පොල්පිතිගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව කෝරුවාව මහානාම මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා එම විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ අද (15) විවෘත කිරීමට කටයුතු කරන ලදී.
මෙහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් සිසු දරු දැරියන් අමතා ප්‍රකාශ කර සිටියේ සෑම අවස්ථාවක මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයේ ජලය පානය කිරීමට සහ තම දෙමාපියන් හට මෙහි ඇති පිරිසිදු පානිය ජලය බෝතලකයක් හැකි සෑම අවස්ථාවකම රැගෙන යාමට කටයුතු කරන ලෙසය. මේ වන විටත් හදුනාගත් වකුගඩු රෝගින් 45 ක් පමණ සිටින මෙම ප්‍රදේශයට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අරමුණින් නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් සහ ෆයර් ෆ්ලයි මිෂන් සිංගප්පූරු ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත ඉදි කරන ලද මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් කෝරුවාව මහානාම මහා විද්‍යාලයේ දරු දැරියන්, 850 දෙනෙකු සඳහා සහ ප්‍රදේශයේ පවුල් 250 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබේ. නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 24 ක් විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති අතර, සිය තාක්ෂණික දැනුම උපයෝගී කර ගනිමින් ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී. මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, වයඹ නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, කෝරුවාව මහානාම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුභවතුන්, සිසු දරු දැරියන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.









