“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව ඉදිරිපත් කළ ශිල්පීන්හට සහතිකපත් ප්රදානය කෙරේ
හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පසුගිය අගෝස්තු මස 25 වන දින නෙළුම්පොකුණ රඟහලේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එය ඉදිරිපත් කළ ශිල්පීන් හා ශිල්පිනියන්ගේ දක්ෂතාවය අගයනු වස්, ඔවුන්හට සහතිකපත් ප්රදානය කිරීම ඊයේ (22) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලයිට් හවුස් ගැලි අවන්හලේදී සිදු කෙරිණි.
මෙම සහතිකපත් ප්රදානය සහ ඇගයීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සංවිධානය කෙරුණි. එහිදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රණසිංහ මහතා, අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්, රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා, අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, කොමදෝරු සුසිල සේනාධීර මහතා, සංගීතඥ කේමදාස ශූරීන්ගේ දියණිය වන ගයාත්‍රී කේමදාස මහත්මිය සහ කලාශූරී අනෝජා වීරසිංහ මහත්මිය අතින් එම ශිල්පීන්හට සහතිකපත්‍ර ප්රදානය කරන ලදී. ඒ අනුව, නාවික හමුදා සංගීත අධක්ෂ කොමදෝරු ජූඩ් පීරිස් මහතා ඇතුළු නාවික හමුදා වාද්‍ය අංශයේ නිලධාරීන් හා නාවිකයන් මෙන්ම කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු මහතා ඇතුළු නාවික හමුදා ගායන ශිල්පීන්, කේමදාස පදනම නියෝජනය කළ ගායන ශිල්පීන් සහ අනෝජා වීරසිංහ මහත්මිය ප්‍රධාන ගායන ශිල්පීන් හා ශිල්පිනියන් ද මෙසේ ඇගයීමට ලක්විය. නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.






















