හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව මො/හම්බෙගමුව ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා එම විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන්, ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක (ඌව), ජගත් පුෂ්පකුමාර මහතාගේ සුරතින් අද (23) දින විවෘත කරන ලදී.
වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, මෙමගින් හම්බෙගමුව කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්, 180 දෙනෙකු සඳහා සහ ප්‍රදේශයේ පවුල් 300 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙමගින් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 10,000 ක් ලබා ගැනීමේ හැකියාව ද පවතී. නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 25 ක් විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති අතර, සිය තාක්ෂණික දැනුම උපයෝගී කර ගනිමින් ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී. මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, ගිණිකොන නාවික විධාන භාර නියෝජය ආඥාපති කොමදෝරු, සුදත් කුරුකුලසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුභවතුන්, සිසු දරු දැරියන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
හම්බෙගමුව, රතබලාගම ප්‍රදේශවාසීන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් එම ප්‍රදේශයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය ගොඩනැගිල්ලට මුල්ගල තැබීම, හෙට (24) දින සිදු කිරීමට ගිණිකොන නාවික පෙදෙස භාර ආඥාපති කොමදෝරු, සුමිත් වීරසිංහ මහතා විසින් කටයුතු සූදානම් කර ඇත.








