එප්පාවල ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව අ/ ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා එම විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) උතුරුමැද නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු මෙරිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) විවෘත කිරීමට කටයුතු කරන ලදී.
පසු ගිය සමයේ ඇති වු අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් එප්පාවල ජලාශයේ වැව් බැම්ම විනාශ වි යාම නිසා මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි පානීය ජල හිඟයකට මුහුණ පෑ අතර, එම අවස්ථාව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අවධානයට ලක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රදේශයට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් නාවික හමුදාවේ පූර්ණ දායකත්වය යටතේ මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අ/ ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කරන ලදි. මෙමගින් විද්‍යාලයේ දරු දැරියන් සහ ගුරුවරුන් 4,000 කට ද, ප්‍රදේශයේ පවුල් 300 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබේ. මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, උතුරුමැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවික නිලධාරීන්, අ/ ශ්‍රි සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුභවතුන්, දුවා දරුවන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 27 ක් විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති අතර, දැනට එම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් පාසල් ළමුන් 10,000 කට සහ පවුල් 16,000 කට පමණ සෙත සැලසී ඇත. තවද මවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 02 බැගින් හෙට (27) දින අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ සහ 2016 ඔක්තොම්බර් මස 2 වන දින යාපනය විශ්ව විද්‍යාලයේදී විවෘත කිරිමට කටුයතු සුදානම් කර ඇත.








