නාවික හමුදා කිමිදුම්කරුවන් ගිලීගිය වාලම්පූරි යාත්රාව සොයා ගනී
ශ්රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් 1998 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින කොටි ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු ප්රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදු ප්රදේශයේදී ගිලීගිය වාලම්පූරි යාත්රාව අද (3) සොයා ගන්නා ලදී. නාවික හමුදාවට අයත්ව තිබූ එම මගී ප්රවාහන යාත්රාව ප්රහාරය එල්ල වන අවස්ථාවේදී යාපනයේ සිට ත්රිකුණාමලය දක්වා යාත්රා කරමින් තිබිණි. එහිදී, නාවික හමුදා පුද්ගලයන් 20 දෙනෙකු සිය ජීවිත පූජා කළ අතර, එකඳු නාවිකයෙකුට හෝ දිවි ගලවා ගැනීමට අවස්ථාවක් ලැබී නොමැත.
එම කාල සීමාව තුළ පැවති අයහපත් කාළගුණික තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත එම යාත්රාව සොයා ගැනීමට නාවික හමුදාවට නොහැකි විය. සිවිල් කිමිදුම්කරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව පේදුරුතුඩුවට නාවික සැතපුම් 8 ක් පමණ දුරින් මුහුදුබත් ව තිබූ එම යාත්රාව සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවන් සමත් වී ඇත. යාත්රාවේ කැඩී බිදී ගිය කොටස් මුහුදු පතුලේ දැකගැනීමට ඇති අතර, එහි බදෙන් 1/5 ක පමණ කොටසක් වැල්ලෙන් යටවී පවතී. කාලයාගේ ඇවෑමෙන් එහි කොටස් මුහුදු ජීවීන්ට උචිත වන සේ හැඩගැසී ඇති අතර, එය ජෛව විවිධත්වය අතින් ඉහල සරු අභිජනන ප්රදේශයක් බවට පරිවර්ථනය වී ඇත.











