නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී තහනම් කිමිදුම් ක්රම සහ උපකරණ භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 22 ක්, පාවරල් යුගල් 3 ක්, මුහුණු ආවරණ 4ක්, GPS යන්ත්ර 2 ක් සහ අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 330 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, භාණ්ඩ සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.




