වසර 34ක සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මොහොට්ටි මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ, අධ්යක්ෂ ජෙනරාල් නාවික හා ගුවන් මෙහෙයුම් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත් මොහොට්ටි යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියා සිය 34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් අද (14) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය සුභාසිංශන එක් කිරීමෙන් අනතුරුව නාවික හමුදා සම්මාන ආචාරයකින් එම නිලධාරීයා වෙත ආචාර දැක්විය.
ඉන්පසු සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරියා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සමුදෙනු ලැබිණි. මාර්ගය දෙපස රැදී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ද එහිදී එම නිලධාරියා හට සිය උත්තමාචාර පුද කරන ලදී. රියර් අද්මිරාල් මොහොට්ටි මහතා 1981 වසරේ දී ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පළමුවන නිලධාරී බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා විවිධ නිලතල දරමින් ආයතන සහ නෞකා රාශියක සේවය කර ඇති අතර, සිය සේවා කාලය අතරතුර දෙස් විදෙස් පාඨමාලාවන් හැදෑරීමෙන් ලද දැනුම උපයෝගී කර ගනිමින් නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටු කිරීමට සමත්ව ඇත. පරිණත මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වශයෙන් එතුමා ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සිය මාතෘ භූමියටත් සිදු කර ඇති අනගිභවනීය සේවය නාවික හමුදා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස සටහන් වනු ඇත.














