12 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 12 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා ඊයේ (14) විසිර යන ලදී. වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන නාවික තාක්ෂණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී විය.
තම මූලික පුහුණු කාලසීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් හට කුසලාන සහ සහතික පත් ප්රදානය කිරීමද එහිදී සිදු කෙරිණි. ඒ අනුව, 12 වන ශිල්පීය අංශයේ නාවිකයන් බඳවා ගැනීමේ විශිෂ්ඨතම නාවිකයා සහ සියළුම විශයන් සඳහා වැඩිම ලකුණු ලබා ගත් නාවිකයා වශයෙන් ශිල්පී එච්කේඑස් වීරසිංහ කුසලාන හිමිකර ගන්නා ලදී. ශිල්පී යූබීජීඑච්එම් ගුණරත්න දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානයද, ශිල්පී එස්එම්ඒඑස් සේනානායක හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානයද හිමි කර ගන්නා ලදී.
විසිර යන නාවිකයින් ඇමතූ රියර් අද්මිරාල් රොසයිරෝ මහතා නාවික හමුදා ශිල්පීය අංශයේ නාවිකයන් ලෙස මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීම පිළිබදව ඔවුන්හට සිය සුභාශිංසන එක්කළ අතර, තම පුහුණුවෙන් ලද විනයගරුක බව හා මනා වෘත්තීමය නිපුණත්වය තුලින් යහපත් පුරවැසියන් ලෙසින් මව්බිමට මෙන්ම නාවික හමුදාවට සේවය කිරීමට අදිටන් කර ගත යුතු බවද එහිදී එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. තවද, ඔවුන්ගේ ඉදිරි නාවික ජීවිතය සමාජයට වැඩදායී පුරවැසියෙකු වශයෙන් තම දෙමාපියන්ට ආඩම්බර විය හැකි ලෙස, මව්බිමේ හා නාවික හමුදාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් සේවය කිරීමට අදිටන් කර ගත යුතු බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. මෙවැනි කාර්යයශූර නාවිකයන් රැසක් බිහි කිරීම සඳහා දිවා රාත්‍රී ඇප කැප වී කටයුතු කළ නාවික තාක්ෂණ ආයතනයේ උපදේශක මණ්ඩලයේ සියළුම නිලධාරීන් සහ නාවිකයන් හට ද සිය ප්‍රණාමය පුද කරන බවද අවසාන වශයෙන් එතුමා සඳහන් කරන ලදී. අධ්යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් රැසක් මෙන්ම විසිර යන ලද නාවිකයන්ගේ දෙමාපියන් පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.














