2016 අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි.
පූනෑවේ පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේ අද (16) පැවති 2016 අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය. මෙම අවස්ථාවට උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා, තරඟාවලියේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී කොමදෝරු උදේනි සේරසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයේ හා උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
එහිදී තරඟකරුවන් ඇමතූ නාවික හමුදාධිපතිතුමන් මව්බිම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගොඩබිම් රාජකාරී සඳහා සෑම අතින්ම දක්ෂ වෘත්තීය නිපුණත්වයෙන් පරිපූර්ණ නාවිකයින් පිරිසක් බිහිකරලීම මෙම තරඟාවලියේ අරමුණ බව සඳහන් කළේය. මෙම තරඟාවලිය තුළින් ලබාගත් කණ්ඩායම් හැඟීම හා අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳව ලද අත්දැකීම් ඉදිරි නාවික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අස්වැසිල්ලක් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
දින 3 ක් පුරා පැවති මෙම තරඟාවලිය, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ගොඩබිම් සටන් පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද අතර, මේ සඳහා ආධුනික නාවිකයන් සහ සියළුම විධාන නියෝජනය කරන විශේෂ මෙහෙයුම් කණ්ඩායම් වල නාවිකයින් සහභාගී විය. එක් එක් විධානයන් හි දක්ෂතම වෙඩික්කරුවන් විසින් විධාන ධජයන් නිරාවරණය කිරීම, විශේෂ මෙහෙයුම් හා ගොඩබිම් සටන්, පැති අවි මගින් සිදුකරන වෙඩි තැබීම් සහ අවි තුනක් උපයෝගී කර ගනිමින් සිදුකරන වෙඩි තැබීම් හි නිදර්ශණයන් ගෙන් මෙම තරඟාවලිය විචිත්‍රවත් විය. මෙහිදී තරඟකරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් පිළිබඳ ප්රවීනයකු වූ නාවික හමුදාධිපතිතුමන් ද වෙඩි තැබීමේ ඉසව්වක් සඳහා සහභාගී විය.
මූලික ගොඩබිම් පුහුණු පාඨමාලාව හදාරණ තරඟකරුවන් අතර පැවති තරඟයෙන් ශාරීරික යෝග්‍යතාවයෙන්, ක්ෂේත්‍ර ශිල්පයෙන් හා ගොඩබිම් සටන්වල මූලික උපක්රමයන්ගෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ නැගෙනහිර නාවික විධානය සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට සමත්වුණු අතර, දකුණු නාවික විධානය එහි අනුශූරයන් බවට පත්විය. විශේෂ මෙහෙයුම් කණ්ඩායම් අතර පැවති තරඟයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ නැගෙනහිර නාවික විධානය සමස්ථ ශූරතාවයත්, උතුරු නාවික විධානය එහි අනුශූරතාවයත් හිමි කරගන්නා ලදී.

















