නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපති තුමන් අතින් වීර පදක්කම් ප්රදානය කෙරේ
නාවික හමුදා පුද්ගලයින් වෙත වීර පදක්කම් ප්රදානය කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත් විණි.
එහිදී මව්බිමේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම වෙනුවෙන් ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව වැඩ සටහන ආරම්භ විය. මෙහිදී එක් ‘රණවික්‍රම’ පදක්කමකින් සහ ‘රණශූර’ පදක්කම් 71 ක කින් නාවික හමුදා පුද්ගලයින් පිදුම් ලැබූහ.
තනිව හෝ තවත් පිරිසක් සමග ඒකාබද්ධව ස්වකීය කැමැත්තෙන් සතුරා ඉදිරියේ ප්‍රදර්ශනය කරනු ලබන නිර්භීත ක්‍රියාවක් සඳහා ‘රණවික්‍රම පදක්කම’ ප්රදානය කරනු ලබන අතර, සතුරා අභිමුඛයේ ප්‍රදර්ශනය කරනු ලබන විශිෂ්ඨ වූ ක්‍රියාකාරකම් සඳහා ‘රණශූර පදක්කම’ ප්රදානය ද කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, ප්‍රාදේශිය අඥාපතිවරුන්, අධ්යක්ෂ ජෙනරාල් වරුන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික පුද්ගලයන් සහ පදක්කම් ලාභී පවුල්වල සමාජිකයන් විශාල පිරිසක් ද සහභාගී වූහ.




















