ඉන්දීය නාවික හමුදාධිපතිතුමා ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී
ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා ඊයේ (1) උතුරු මැද ප්‍රදේශයේ චාරිකාවාරයක නිරත වූ අතර, එහිදී එතුමන් අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදී. ඉන් අනතුරුව අතීතයේ සිට දෙරට අතර පවතින නාවික සම්බන්ධතා පිළිබදව එතුමා විශේෂ උනන්දුවකින් යුතුව අදහස් ප්‍රකාශ කරන ලදී.
එහිදී, ඉතිහාසයේ වංශ කථාවල සඳහන් පරිදි සිදුහත් බෝසතාණන්ට බුදුවීමට සෙවණ දුන් බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දියණිය වූ සංඝමිත්තා තෙරණිය විසින් උතරු ඉන්දියාවේ “ටොට්ලා කොඳ” වරායෙන් පිටත්ව නෞකා මාර්ගයන් ඔස්සේ කන්කසන්තුරය වරාය ආශ්‍රිතව පිහිටි මාදගල් ප්‍රදේශයට වැඩම කරවා ඇත. ඉන් අනතුරුව බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නා උයනට වැඩමවා රෝපණය කර ඇති අතර, මෙම බෝධීන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 249 දී පමණ රෝපණය කරන ලද ලොව පැරණිතම වෘක්ෂයේ අනු ශාඛාව ලෙසද හදුන්වා දිය හැක. ඒ අනුව, මෙම ඓතිහාසික පූජනීය බෝධීන් වහන්සේ ඉන්දියාවේ සිට නාවික මාර්ගයන් ඔස්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම ඉතිහාසයේ සිට දෙරට අතර ඇති මිත්‍රත්වය මනාව පිළිබිඹු කිරීමක් බවත්, අතීතයේ සිටම දෙරට අතර නාවික සම්බන්ධතා පැවති බවට කදිම නිදසුනක් බවත් එතුමා එහිදී බැතිබරව සිහිපත් කරන ලදී.
තවද, අනුරාධපුර පූජා භූමියේ ඇති රුවන් වැලි සහ ජේතවන මහා සෑරඳුන් වන්දනා මාන කිරීමට මෙන්ම අනුරාධපුරයේ පිහිටා ඇති ඉපැරණි නටඹුන් හා ශ්‍රී ලාංකික අනන්‍යතාවය විදහා දක්වන පෞරාණික සඳකඩ පහණ නැරඹීමට ද එතුමා එක් විය. මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන්, ප්‍රකාශ් ගෝපාලන් මහතා ඇතුළු ඉන්දියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. එම චාරිකාවාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.














