59 වැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ ව්‍යාපෘති අධ්යක්ෂ, අසේල ඉද්දවෙල මහතාගේ උපදෙස් පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අද (2) විවෘත කෙරිණි.
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නැඟුණු අතර, මහියංගනය ප්‍රදේශයේ දෙහිගොල්ල මහා විද්‍යාලය, අරාවත්ත මහා විද්‍යාලය, සහ සිලාවතුර, කොන්ඩච්චි ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බලකා කදවුරේ දී මෙම ජල පිරිපහදු යන්ත්‍ර විවෘත කරන ලදී. මෙම යන්ත්‍ර 3 ත් සමග අද වන විට මෙවැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 59 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නාවික හමුදාව සමත් වී ඇත.
වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඉතා අඩු පිරිවැයක් දරමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදන කර ඇත. මෙමගින් දෙහිගොල්ල මහා විද්‍යාලයේ දරු දැරියන් 1500 දෙනෙකු, ගුරුවරුන් 50 දෙනෙකු හට සහ ප්‍රදේශයේ පවුල් 800 කට, අරාවත්ත මහා විද්‍යාලයේ දරු දැරියන් 141 දෙදෙනෙකු, ගුරුවරුන් 12 දෙදෙනෙකු සහ ප්‍රදේශයේ පවුල් 626 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් එම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරන ලදී.





