නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු සහ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගැනේ
අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ජීවන්ත පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (14) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව මඟින් රැගෙන, පි 411 වේග ප්‍රහාරක යාත්‍රාව වෙත භාර දෙන ලදි. ඉන් අනතුරුව රෝගියා කඩිනමින් ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට වෙත රැගෙන එමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් කෙරිණි.
තවද, එදිනම නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ගොපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය. බේරා ගත් පුද්ගලයන් මහනුවර අකුරණ, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40, 32, 30 සහ 14 යන වයසේ පසුවන පුද්ගලයන් වේ. මෙහිදි එක් අයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් නිලාවේලි රෝහල වෙත ඇතුලත් කෙරිණි.








