තිරප්පනේ මහානාම මහා විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් තිරප්පනේ ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව මහානාම මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම පිණිස. එම විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා අතින් අද (4) විවෘත කෙරිණි.
මේ වන විටත් හදුනාගත් වකුගඩු රෝගින් සැළකිය යුතු ප්‍රමාණයක් සිටින මෙම ප්‍රදේශයට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අරමුණින් නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් සහ ෆයර් ෆ්ලයි මිෂන් සිංගප්පූරු ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත ඉදි කරන ලද මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම විද්‍යාලයේ දරු දැරියන් 1200 දෙනෙකු, ගුරුවරුන් 75 දෙනෙකු සහ ප්‍රදේශයේ පවුල් 750 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව උදාවනු ඇත. තවද, ෆයර් ෆ්ලයි මිෂන් ආයතනය මගින් මෙවැනි ජල පිරිපදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන් තෙවන අවස්ථාව ලෙස මෙය සනිටුහන් වනු ඇත.
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 86 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 40,600 කට හා පාසැල් දරුවන් 34,200 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී. මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, තිරප්පනේ මහානාම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුභවතුන්, සිසු දරු දැරියන් හා ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.








