උතුරු නාවික විධානයේ විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්වෙයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඩෙල්ෆ්ට් දූපත් වාසීන් සඳහා විශේෂඥ වෛද්‍ය සායනයක් පසුගිය 12 වන දින පවත්වන ලදී.
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන්, නාවිකයන් මෙන්ම යාපනය ශික්ෂණ රෝහල් කාර්යය මණ්ඩලය සහ යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා එක්ව මෙම වෛද්‍ය සායනය පැවැත්වීමට කටයුතු කෙරිණි.
යාපනය දිස්ත්‍රික්කයෙන් වෙන්ව පිහිටා ඇති ඩෙල්ෆ්ට් දූපතේ ජනතාවගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම වස් මෙම වෛද්‍ය සායනය පැවැත් වූ අතර, දූපත්වාසීන් 483 දෙනෙකු හට එහිදී නොමිලේ ප්‍රථිකාර ලබා දීමට හැකියාව ලැබුණි. වෛද්‍යවරුන් 24 දෙනෙකු සහ වෛද්‍ය උපදේශකවරුන් විශාල පිරිසක් මෙම වෛද්‍ය සායනය සඳහා එක් වූ අතර, ළමා රෝග, නාරි හා ප්‍රසව, උගුරු, කණ, නාසය ආශ්රිත රෝග, විශේෂඥ අක්ෂි සායන, සාමාන්‍ය රෝගාබාධ මෙන්ම පිළිකා කාරකයන් සඳහා ද මෙම සායනය මගින් ප්‍රථිකාර ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.
සියළු රසායනාගාර පරීක්ෂණ සහ ඖෂධ මෙම සායනය මගින් නොමිලේ එම ජනතාව වෙත ලබා දුන් අතර, මෙම මහඟු කර්තව්‍ය සම්බන්ධයෙන් එම ජනතාව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවටත්, එම අවස්ථාව සඳහා එක්වූ යාපනය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයටත් සිය හෘදයාංගම ස්තුතිය පිරිනැමීමට ද කටයුතු කරන ලදී.











