ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ජාතික මෙන්ම හදිසි අවස්ථාවන්හි දී සහ ව්‍යසනයන්හි දී විශේෂඥ දැනුම හා පිරිස් බලය ලබා දීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින නාවික හමුදා පුහුණුව ලබා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානතම බළකායයි. එය නාවික හමුදාවට පවරා ඇති කාර්යයන් ඉටුකිරීම සඳහා නිත්‍ය නාවික බළකායට ආධාර සහ අවශ්‍ය සහාය ලබා දෙන ප්‍රධානතම බළකාය ලෙස ද හදුන්වා දිය හැක. 2017 ජනවාරි මස 4 වන දින ආරම්භ කෙරුණු මෙම පුහුණු කදවුර ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නාවික පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම උදෙසා මහත් පිටිවහලක් විය. එය නාවික හමුදාධිපතිතුමාගේ අංශ පිරික්සුමකින් සහ ආචාර පෙළපාලියකින් ද සමත්විත වන අතර, විචිත්‍රවත් වාදන සහ සංස්කෘතික සංදර්ශනයකින් ද යුක්ත විය.
එහිදී නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපතිතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරම්භය ස්වේච්ඡා නාවික හමුදාව බවත්, අතීතයට වඩා වර්තමානයේ ස්වේච්ඡා නාවික හමුදාව කැපී පෙනෙන මෙහෙවරක් සිය මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කරමින් සිටින බවත් ප්‍රකාශ කරන ලදී. තවද,සිය මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය රැක ගනිමින් රටේ සංවර්ධන කටයුතු සඳහා ද ධනාත්මක දායකත්වයක් දක්වමින්, ක්‍රීඩා කෞශල්‍යයන් නිරන්තරයෙන් දියුණු කර ගනිමින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී දක්ෂතා දක්වන ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයින් මෙරටට ගෞරවයක් අත්කර දීමට සමත්ව සිටීම පිළිබඳව සිය සතුට සහ ප්‍රශංසාව පිරිනමන බව ද එතුමා එහිදී ප්‍රකාශ කරන ලදී.
එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමදෝරු ටයිටස් කන්නංගර මහතාද සහභාගී වී සිටියහ.























