විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 26 දෙනෙකු විසිර යති
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 23 වන සහ 24 වන බඳවා ගැනීම් වලට අයත් නාවිකයන් විසි තුන් (23) දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු (3) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (20) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.
එම විසිර යාමේ සහ ලාංඡන පැළදවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ සහ වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය. ඉතාමත් අලංකාරවත් ලෙස පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය විශේෂ යාත්‍රා බලඝණයේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන අලංකාර සංදර්ශණයකින් ද සමන්විත විය. “සමහර මිනිසුන් මුහුද කෙරෙහි බිය වන්නා සේම, මුහුදද සමහර මිනිසුන් හට බිය වන්නෝය” යන්න මෙවර තේමාව විය.
එහිදී, තම මූලික පුහුණු කාල සීමාව තුළ විශේෂ කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන සහ සහතික පත් ප්රදානය, නාවික හමුදාධිපතිතුමා අතින් සිදු කෙරිණි. ඒ අනුව, 23 වන බඳවා ගැනීමේ අතිශූර සාමාජිකයා සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා ලෙස සාමාන්‍ය නාවික ඩබ්ඒටීඑච් සමරනායක ද, දක්ෂතම වෙඩික්කරු වශයෙන් සාමාන්‍ය නාවික ඩීපීජීඒඑන් ජයසේන ද, පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන්, සාමාන්‍ය නාවික ටීඑම්ආර්එම් චන්ද්‍රසේකර ද කුසලාන හිමිකර ගන්නා ලදී. තවද 24 වන බඳවා ගැනීමේ අතිශූර සාමාජිකයා වශයෙන් උප ලුතිනන් ආර්කේබී දිසානායක, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා වශයෙන් උප ලුතිනන් එම්එස් ජයලත්, දක්ෂතම වෙඩික්කරු වශයෙන් සාමාන්‍ය නාවික පීඑස්ඒපී දිසානායක, පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන්, සාමාන්‍ය නාවික ජේඑම්පීසී සංජීව ද කුසලාන හිමිකර ගැනීමට සමත් විය.
ඉන් අනතුරුව එම උත්සවය ඇමතූ නාවික හමුදාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ, මෙම බඳවා ගැනීම් වලට අයත් නිලධාරීන් සහ නාවිකයන් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කර ඔවුන් හට අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ පළඳනාව පැලඳවීමේ උත්සව අවස්ථාව සඳහා එහි නිර්මාතෘ සහ නාවික හමුදාධිපතිවරයා වශයෙන් සහභාගී වීමට හැකිවීම ඉතාමත් භාග්‍යයක් ලෙස සලකන බවයි. 1993 වර්ෂයේදී සන්නද්ධ ඒකකයක් වශයෙන් ආරම්භ කර මානුෂීය මෙහෙයුමේ අවසානය දක්වා මව්බිමේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම සඳහා වීර වික්‍රමාන්විත ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට හැකිවීම පිළිබදව ද එතුමා සිය සතුට පළ කරන ලදී. ධෛර්යමත් හා පරිපූරිණ නාවිකයෙකු වශයෙන් අද දින සිට නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ක්‍රියාන්විත රාජකාරී සඳහා අවතීර්ණ විය යුතු බවත්, නාවික හමුදාවේ කීර්තිය සහ අභිමානය සුරැකෙන අයුරින් තම රාජකාරීන් නොපිරිහෙලා ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සියළු දෙනා හට ලැබේවායි ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
තවද, සිය රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමේ උදාරතර හා පවිත්‍ර චේතනාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වීම සඳහා අවසර ලබා දුන් ආදරණීය දෙමාපියන්හට එතුමාගේ ගෞරවනීය හා කෘතවේදී ස්තුතිය පුද කරන ලදී. එමෙන්ම, පුහුණුවන නාවිකයන්ගේ දැනුම හා ශක්තිය ඔපමට්ටම් කරමින් ඔවුන් පරිපූර්ණ කිරීමට දායකත්වය දැක්වූ විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ඇතුළු උපදේශක මණ්ඩලයට ද සිය හෘදයංගම ස්තුතිය පුද කිරීමට එතුමා කටයුතු කරන ලදී.
“විකුමැතියට භාග්‍ය ප්‍රසාදනිය වේ” යන ආදර්ශ පාඨය තේමා කර ගනිමින් මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ යාත්‍රා බලඝණය නිරන්තරයෙන් ඇප කැප වී සිටී. එමෙන්ම, දශක 3 ක් පුරා පැවති ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීම කෙරේ විශාල කාර්යයභාර්යක් ඔවුන් විසින් සිදු කර ඇත. සෑම විටම මනා පුහුණුවකින් සහ උසස් විනයකින් යුක්තව ඕනෑම යුදමය අවස්ථාවකදී ගුවන, දියඹ සහ දෙරණ සිසාරා රණබිමට අවතීර්ණ වී දැඩි මානසික හා ශාරීරික ශක්තියකින් යුතුව, සතුරා මවිතයටත්, විශ්මයටත් පත් කරමින් දැවැන්ත ප්‍රහාරයක් කරා යොමු වීමේ දුර්ලභ හැකියාව මෙම විශේෂ යාත්‍රා බලඝණය සතුය.
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් ඇතුළු පවුල්වල සාමාජික සාමාජිකාවන් සහ නාවිකයන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.



































