උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් දූපතේ වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (10) කරෙයිනගර් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේදී විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වෛද්‍ය සායනය පැවැත්වූ අතර, එම කර්තව්‍ය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා ඇතුළු කාර්යය මණ්ඩලය මෙන්ම යාපනය, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක, වෛද්‍ය කේ නන්දිකුමාර් මහතා ද සහභාගී වී සිටියහ. ප්‍රදේශයේ පදිංචි සිවිල් පුද්ගලයින් 567 කට අධික ප්‍රමාණකට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.
මෙම වැඩසටහන මගින් බෝවන, බෝ නොවන රෝග, ශ්වසන රෝග, ළමා සෞඛ්‍ය ගැටළු, මුඛ රෝග, දරුණු නිදන්ගත රෝග, ශල්‍ය රෝග, නව යොවුන් වියේ සහ වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රථිකාර ලබා ගැනීමට හැකියාව උදා විය. එමෙන්ම පරිපූරක වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම උදෙසා සඳහා සහභාගී වී සිටියහ. ගර්භනී සහ කාන්තා වෛද්‍ය සායනක් ද ප්‍රාථමික මට්ටමින් සිදු කෙරිණි. තවද මූලික රසායනාගාර පරීක්ෂණ මගින් නිදන්ගත මෙන්ම බෝ නොවන රෝගී තත්ත්වයන් එහි මුලික අවස්ථාවේදීම හඳුනාගෙන ඒවා සඳහා ප්‍රථිකාර ලබා දී ඔවුන් සුරක්ෂිත කිරීමටද එම වෛද්‍ය සායනය මගින් හැකියාව ලැබිණි. රෝගීන් සඳහා ලබා දුන් ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂාවන් සියල්ල නොමිලේ ලබා දීමට එහිදී ඔවුන් කටයුතු කරන ලදී.














