මිශ්‍ර සටන් කලාව ප්‍රථම වරට නාවික හමුදාවට හදුන්වා දෙයි
ලොව සීග්‍රයෙන් ප්‍රචලිත වන සටන් කලාවක් වන මිශ්‍ර සටන් කලාව නිරූපනය කිරීමේ වැඩසටහනක් ඊයේ (16) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වූ අතර, විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් ආචාර්ය ප්‍රසන්න ජයවීර මහතා සහභාගී විය. එතුමා 1975 වර්ෂයේ වූෂූ සටන් කලාව ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ සහ ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය ස්ථාපිත කිරීමේ පුරෝගාමියෙකු ලෙස හදුන්වා දිය හැක. තවද, එතුමා මහජන චීන සමූහාන්ඩුවේ ජාත්‍යන්තර තරඟ තීරකයෙකු හා විනිසුරුවරයෙකු මෙන්ම, නිරායුධ හමුදා සටන් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුතින් හදුන්වා දෙනු ලැබූ මෙම සටන් කලාව සඳහා විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයින් 7 දෙනෙකු එක් වූ අතර, ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් ප්‍රගුණ කළ සටන් ශිල්ප ක්‍රම විදහා දැක්වීමක් ද සිදු කෙරිණි. ඔවුන්ගේ පුහුණු උපදේශක වශයෙන් ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන දුමින්ද පෙරේරා මහතා කටයුතු කළ අතර, කොමාණ්ඩර් චතුර ගමගේ මහතා ද ඒ සඳහා සහාය දැක්වීය.
මෙම පුහුණුකරුවන්ගේ අප්‍රතිහත ධෛර්යේ ප්රථිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සටන් ශිල්පීන්ගේ හැකියාවන් ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට අවස්ථාව උදා වී ඇත. තවද, ඔවුන් ප්‍රගුණ කළ සටන් ක්‍රම විදහා දැක්වීමක් ද එම අවස්ථාවේදී සිදු කරන ලදී. එහිදී ඔවුන් ප්‍රදර්ශණය කළ සටන් ක්‍රම ලෙස Tai Chi Chuan, Tai Chi Jian, Chang Chuan, Nan Chuan, Nando, Wing Chun, Gun Shu සහ Sanda සදහන් කළ හැක.
එම උත්සව අවස්ථාවේ විශේෂ යාත්‍රා බලඝණයේ සටන් ශිල්පීන්ගේ දක්ෂතා අගයනු වස් නාවික හමුදාධිපතිතුමා විසින් ඔවුන් හට සහතික පත්‍ර ප්රදානය කිරීමක් ද සිදු කරන ලදී.






















