ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව ලංග්කාවී වරායට සේන්දු වෙයි
මලයාසියාවේ පැවැත්වීමට නියමිත 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (20) මලයාසියාවේ ලංග්කාවී වරායට සේන්දු විය. කොමදෝරු ප්‍රසන්න අමරදාස මහතාගේ අණදීම යටතේ මෙම නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටත් වූයේ පසුගිය 14 වන දිනය. එතැන් සිට පැය 136 ක් ගෙවමින් මුහුදු සැතපුම් 1276 ක ගමනක් සාර්ථක ලෙස අවසන් කළ නෞකාව මේ වන විට ලංග්කාවී වරායේ නැගුරම්ලා ඇත. ශ්‍රී ලංනානෞ සයුර නෞකාව මෙවර මෙම ප්‍රදර්ශණයට සහභාගී වන්නේ දෙවන වතාවට වන අතර, 2007 වසරේ මාර්තු මස පැවති ලීමා 2017 සඳහා ද මෙම නෞකාව සහභාගී වී ඇත.
සම්ප්‍රදානුකූලව නාවික චාරිත්රයන්ට අනුව කොළඹ වරායෙන් පිටත්වූ ශ්‍රීලංනානෞ සයුර නෞකාව තම ගමනාන්තය දක්වාම විවිධාකාර පුහුණු වැඩසටහන් හා පෙරහුරු සඳහා නැව් මුළුව සහභාගී කරවීමට කටයුතු සූදානම් කර තිබුණි. ඒ අතර ගිනි නිවීමේ පෙරහුරු අභ්‍යාස, හදිසියේ නෞකාවක ඇතිවන සිදුරක් නිසා ජලය කාන්දු වීමකදී ගත යුතු ආපදා මර්දන ක්‍රියාමාර්ග ප්‍රධාන තැනක් ගනි. එමෙන්ම විශේෂ යාත්‍රා බලඝණයේ සහ මෑතකදී ස්ථාපිත කරන ලද මැරීන් බලකායේ පෙරහුරු ක්‍රියාකාරකම් දෙකක් ද සිදු කෙරිණි. එයට අමතරව පසුගිය 16 වන දින සවස වොලිබෝල් තරගාවලියක්ද සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා කණ්ඩායම් 6 ක් සහභාගී විය. එහිදී ජයග්‍රාහී කණ්ඩායම සඳහා කුසලාන සහ ත්‍යාග ප්‍රධානය කිරීම කපිතාන් ලසන්ත ගමගේ මහතා විසින් සිදු කෙරිණි. තවද 18 වන දින සවස නාවික හමුදා පෙරදිග තුර්ය වාදක කණ්ඩායම සහ සෙසු නාවිකයින්ගේ දක්ෂතා හා ක්‍රියාකාරකම් එළි දැක්වුණු විනෝදාත්මක වැඩසටහනක් ද පැවැත්වූ අතර, එය සැමගේ ප්‍රශංසාවට ලක් විය.
ලීමා 2017 සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එහිදී ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ චාරිකාවාරයක් ද සිදු කරන ලදි.
මාර්තු මස 21 වන දින සිට 25 වන දින දක්වා රටවල් ගණනාවක් නියෝජනය කරමින් නෞකා 40 කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශණයට එක්වීමට නියමිතය.















