මලයාසියාවේ දී ශ්‍රී ලංකීය සංස්කෘතික අංගයන්ගෙන්, සයුර රාත්‍රිය වර්ණවත් වෙයි
මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017, සඳහා සහභාගී වී සිටින ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (21) රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාව සඳහා නෞකාවේ අණදෙන නිලධාරී කොමදෝරු ප්‍රසන්න අමරදාස මහතාගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජකීය මලයාසියානු නාවික හමුදාවේ ජලමාන විද්‍යාව පිළිබඳව ප්‍රධානී රියර් අද්මිරාල් ෆැඩ්සිලා බින් මොඩ් සලේ මහතා සහභාගි විය. මීට අමතරව මේ වන විට මලයාසියාවේ ලංග්කාවීහි රැඳී සිටින රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ අද්මිරාල් තිසර සමරසිංහ මහතා ඇතුළු නෞකාවේ නිලධාරී පිරිසක් ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් සහභාගී විය.
තවද, මේ සඳහා මලයාසියානු නාවික හමුදාවේ අධ්‍යාපන සහ පුහුණු කටයුතු පිළිබද ප්‍රධානී රියර් අද්මිරාල් රූස්ලී බින් රාම්ලී මහතා, මලයාසියානු නාවික හමුදාවේ අධ්‍යාපන සහ පුහුණු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී පළමු අද්මිරාල් ස්වල්කෆ්ලි බින් හජ්ජි අහමඩ් මහතා, මැලේසියානු 3 වන නාවික කළාපයේ ආඥාපති පළමු අද්මිරාල් රූස්ලී බින් අහමඩ් මහතා හා රාජකීය මැලේසියානු නාවික හමුදාවට අයත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් බොහෝමයක් සහභාගි වී සිටියහ.
ශ්‍රී ලාංකික දේශීය අනන්‍යතාවය රැකෙන පරිදි සැලසුම් කරන ලද ආහාර වට්ටෝරු වලින් සමන්විත මෙම භෝජන සංග්‍රහය දේශීයත්වයට මුල්තැන හිමිවන පරිදි සැරසිලි හා අලංකරණ කටයුතු සිදු කර තිබූණි. නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කළ සංස්කෘතික අංගයන් සැමගේ ප්‍රශංසාවට ලක් විය.
මාර්තු මස 25 වන දින දක්වා පැවැත්වෙන ලීමා 2017 ප්‍රදර්ශණයට සංස්කෘතික සංදර්ශණ, නෞකා දැක්ම, නාවික හා ගුවන් ඒකාබද්ධ අභ්‍යාසයන් ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිතව ඇත.







