තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී
තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සඳහා මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදා දීමේ වැඩපිළිවෙලක් අද (8) සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.
අද දිනට යෙදී තිබෙන ලෝක තැලසීමියා දිනයට සමගාමීව මෙම කර්තව්‍යයන් සිදු කෙරුණු අතර, මහල් 6 කින් සමන්විත ගොඩනැගිල්ලක් සඳහා මෙසේ මුල්ගල තැබීම සිදු කරන ලදී. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර එම රෝගයට ගොදුරු වී සිටින දරුවන් හට ප්රදානය කිරීම සඳහා නාවික හමුදාධිපතිතුමන් විසින් ගරු අමාත්‍යතුමන් වෙත පිරිනැමීම ද එහිදී සිදු විය.
මේ වන විට ශ්‍රී ලංකාව පුරා තැලසීමියා රෝගීන් 3500 ක් පමණ සිටින අතර, නාවික හමුදාව සමග සම්බන්ධීකරණය වෙමින් ඉදිරියේදී ඔවුන් සියළු දෙනාටම තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර ලබා දීමට කටයුතු කරන බව ගරු අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. මේ වන විට නාවික හමුදාව මගින් එම යන්ත්‍ර 1521 ක් රෝගීන් සඳහා ලබා දීමට කටයුතු කර ඇත.
තැලසීමියා රෝගී තත්ත්වය හේතුවෙන් රුධිරයේ අඩංගු යකඩ ශරීරය තුළ එක්රැස් වන අතර, නැවත නැවත රුධිරය ලබාගැනීමේදී ද මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වේ. එබැවින් ශරීරය තුළ එකතු වන යකඩ ඉවත් කිරීම සඳහා මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රෝගීන් හට අත්‍යාවශ්‍ය වේ. ඉතා අඩු පිරිවැයක් දරමින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් මෙම නික්ෂේපණ යන්ත්‍රයක් පළමු වරට නිෂ්පාදනය කරනු ලැබුවේ 2010 වසරේ දීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය ද ලබා ඇති මෙම නික්ෂේපණ යන්ත්‍රය සඳහා 2012 වසරේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙතින් ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රමාණයේ හොඳම නිෂ්පාදනයට හිමි ජාතික සම්මානයෙන් ද පිදුම් ලැබීය.
නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදන කටයුතු මගින් නිපදවන යන්ත්‍ර මේ වන විට රජයේ රෝහල් මෙන්ම ළමා රෝහල් වල රෝගීන් සඳහා බෙදා දීමට කටයුතු කර ඇත. රටෙහි සමස්ථ අවශ්‍යතාවය වෙනුවෙන් මෙම යන්ත්‍ර ඉදිරියේදීත් නිපදවීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.
මෙම අවස්ථාව සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක තුමන්, එහි වෛද්‍ය කාර්යය මණ්ඩලය, ප්‍රභූ පුද්ගලයන්, සම්භාවනීය අමුත්තන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම සිවිල් පුද්ගලයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.
















