අන්තර්ජාතික වෙසක් උළෙලට නාවික හමුදාවේ පූර්ණ දායකත්වය
2017 අන්තර්ජාතික වෙසක් උළෙලට සමගාමීව නාවික හමුදාව විසින් මේ වන විට පුණ්‍ය කටයුතු රාශියක් සිදු කරමින් පවතී. මෙය එක්සත් ජාතීන් ගේ 14 වන වෙසක් දින සැමරුම වන අතර, ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රථම එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලයි.
මෙම කර්තව්‍ය ආරම්භ කරමින් පසුගිය 4 වන දින තිස්සමහාරාමයේ සඳගිරි මහ සෑයේ සිට ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මගින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නාවික හමුදා මූලස්ථානය වෙත වැඩම කරවීම සිදු විය.
තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිරස නාලිකාව එක්ව සංවිධානය කරන ලද සිරස ජාත්‍යන්තර වෙසක් කළාපය ඊයේ (10) කොළඹ 02 බ්රෙබෘක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථාන පරිශ්‍රයේදී අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ද සහභාගී විය. එහි තැන්පත් කොට ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීම සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා කඩල දන්සලක් ද සංවිධානය කොට තිබුණි. මෙහි අවසන් දින පැවැත්වීමට නියමිත සංස්කෘතික පෙරහැර සඳහා ද මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.
එමෙන්ම, මැයි මස 10 වන දින සිට 13 වන දින දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ පැවැත්වෙන වෙසක් කළාපය වෙනුවෙන් මාර්ගය දෙපස වෙසක් පහන් කූඩු සහ විදුලි බුබුළු මගින් ආලෝකමත් කිරීම, ඒ සඳහා භක්ති ගීත සහ සංස්කෘතික නැටුම් කණ්ඩායම් ලබා දීමට ද නාවික හමුදාව සූදානමින් සිටී. මැයි මස 11 වන දින සිට 14 වන දින දක්වා කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත බුද්ධ රශ්මි වෙසක් කලාපයේ බොදු බැති ගී ගායනයෙන් වර්ණවත් කිරීමට සහ එම ප්‍රදේශය ශඩ් වර්ණයන්ගෙන් ඒකාලෝක කිරීමට ද නාවික හමුදාව සැදැහැ සිතින් සූදානම් වෙමින් පවතී.
වෙසක් මංගල්‍යයට සමගාවීම ඉදිරියේදී, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමුළුව, ජනාධිපති ලේකම් කාර්යාලීය වෙසක් උත්සවය, ශ්‍රද්ධා වෙසක් කලාපය, ලේක් හවුස් වෙසක් කලාපය, කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාල වෙසක් උත්සවය සහ කොලොන්තොට වෙසක් කලාපය යන වැඩසටහන් සඳහා ද නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දීමට කටයුතු සූදානම් කරමින් පවතී.
ඉන්දියාව, පාකිස්ථානය, චීනය, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මියන්මාරය, කාම්බෝජය සහ මැලේසියාව ඇතුළු රටවල් 90 ක් මෙවර ජාත්‍යන්තර වෙසක් කළාපය වර්ණවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දක්වමින් සහභාගී වී ඇත.








