ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල මානක සමීක්ෂණය නිමා කරමින් නාවික සිතියම් 2 ක් නාවික හමුදාධිපතිතුමා හට භාර දෙයි
කොළඹ සිට සංගමන්කන්ද දක්වා වෙරළ තීරය ආවරණය වන පිරිදි ඉන්දියානු නාවික හමුදා ජල මානක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක අංශය විසින් සිදු කරන ලද ඒකාබද්ධ ජල මානක සමීක්ෂණය සාර්ථක ලෙස නිමාවට පත් විය. එහිදී, ඔවුන් යාවත්කාලීන කරන ලද සිතියම් 2 ක් අද (12) නාවික හමුදාධිපතිතුමා වෙත පිරිනමන ලදී.
ඒ අනුව, ඉන්දියානු නාවික හමුදාවට අයත් මුහුදු සමීක්ෂණ නෞකාවක් වන දර්ශක් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් පියුෂ් පව්සි මහතා විසින් කොළඹ සිට සංගමන්කන්ද දක්වා සහ කොළඹ සිට වැලිගම දක්වා වූ සිතියම් 2 නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට නිල වශයෙන් භාර දීම සිදු කරන ලදී.
ඉන්දියානු ජල මානක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද මෙම සමීක්ෂණය පසුගිය මාර්තු මස 29 වන දින ආරම්භ කෙරිණි. සති 6 ක පමණ කාලයක් තුළදී එම කාර්යය නිමා කිරීමට දෙපාර්ශවයේ ජල මානක විශේෂඥයින් සමත් විය. මෙමගින් වර්ග කිලෝ මීටර් 41,600 ක ප්‍රදේශයක් ආවරණය කර ඇත.
දර්ශක් නෞකාව සතුව පවතින බහුවිධ ශබ්ද තරංග නිකුත් කිරීම, ඒකල ශබ්ද තරංග නිකුත් කිරීම ඇතුළු නවීන තාක්ෂණික ක්‍රම මෙම කාර්යය ඉටු කිරීම සඳහා යොදාගෙන ඇත.
සයුරේදී ජීවිත ආරක්ෂාව සැපයීම පිළිබඳ ප්රඥප්තියට බැදී සිටින රාජ්‍යයක් වශයෙන් නිවැරදි සහ යාවත්කාලීන කරන ලද ජල මානක තොරතුරු නාවිකයින් වෙත ලබා දීම ශ්‍රී ලංකාව සතු වගකීමක් වී ඇත.
මෙසේ සමීක්ෂණය කරන ලද තොරතුරු මගින් වර්තමානයේ පවතින ඉතා පැරණි නාවික සිතියම් යාවත්කාලීන කිරීම සිදු වනු ඇත. එසේම ඉදිරි මාස කීපය තුළ එම තොරතුරු ජාතික සිතියම් එකතුවට සහ විද්‍යුත් නාවික සිතියම් එකතුවට ඇතුළත් කිරීමට නාවික හමුදා ජල මානක අංශය බලාපොරොත්තු වේ. එමෙන්ම, මෙමගින් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන ජාත්‍යන්තර නෞකාවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ නිල් දිය ආර්ථිකය වර්ධනය කර ගැනීම ද අපේක්ෂා කෙරේ.
නාවික හමුදා ප්‍රධාන ජල මානක නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් ආශෝක් රාඕ මහතා සහ දර්ශක් නෞකාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.





