ඕමාන් රාජකීය නාවික හමුදාවේ තාක්ෂණික ශිල්පීන් සඳහා පැවැත් වූ උසස් ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්රදානය කෙරේ
ඕමාන් රාජකීය නාවික හමුදාවේ තාක්ෂණික ශිල්පී III වන කණ්ඩායම සඳහා වූ නෞකා පද්ධති නඩත්තු කිරීම පිළිබඳ උසස් ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්රදානය පසුගිය 12 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය.
මෙම උසස් ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එක්ව පවත්වනු ලබයි. මෙහිදී, නෞකා පද්ධති නඩත්තු කිරීම පිළිබඳ උසස් සිද්ධාන්තික මෙන්ම ප්‍රායෝගික පුහුණුවක් ඔවුන් හට ලබා දීම සිදු වේ. එම පාඨමාලාවේ තුන්වන කණ්ඩායම සඳහා ඕමාන රාජකීය නාවික හමුදාවට අයත් සාගරික ඉංජිනේරු අංශයේ නාවිකයන් 6 දෙනෙකු සහ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ නාවිකයන් 6 දෙනෙකු සහභාගී වී සිටියහ. උසස් ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස හදාරා නිම කරන ලද ඔවුන් සියළු දෙනා හට මෙහිදී සහතික පත් ප්රදානය කිරීම සිදු කෙරිණි. තවද, පාඨමාලාවේ වැඩිම ලකුණු ලබා ගත් නාවිකයන් දෙදෙනා සඳහා ඔවුන්ගේ විශිෂ්ඨ හැකියාවන් අගයකරනු වස් විශේෂ කුසලාන ද ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා, ධජ නිලධාරී නාවික දියත් විධානය ලෙස රාජකාරී කරනු ලබන, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් පෙරේරා මහතා, කොමදෝරු අධිකාරී තඨාකංගණය, කොමදෝරු විරාජ් ලීලාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවික හමුදා මූලස්ථානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.





