නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (19) උදෑසන 0900 පැයට වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි. මෙම උළෙල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වා සිය ආචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. අද දින මෙම සැමරුම් උළෙල පැවැත්වූයේ 8 වන වරටය.










