කුඩා සහ මහ රාවණා සාගරික සංරක්ෂණ සම්මන්ත්‍රණය කොළඹ දී පැවැත්වේ
කුඩා සහ මහ රාවණා සාගරික සංරක්ෂණ සම්මන්ත්‍රණය අද දින (24) කොළඹ ලයිට් හවුස් ගැලි හෝටලයේ දී සාර්ථකව පවත්වන ලදි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය. දෙවන වරට පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය නාවික හමුදාධිපතිතුමන් ගේ උපදෙස් මත ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට තිබුණි.
කුඩා සහ මහ රාවණා සාගරික සංරක්ෂණ ව්‍යාපෘතියේ කැඳවුම්කරු වන කියාස් ඩීන් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙවර සම්මන්ත්‍රණයේ කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය සපයන ලදි.
මෙහි ප්‍රථම අදියර 2014 වර්ෂයේ දී කිරින්දේ දී පැවැත් වූ අතර එමගින් මහා රාවණා කොටු ව ආසන්න මුහුදේ ඇති මුහුදු බත් වූ නෞකාවන් ත්‍රිත්වයේ ආරක්ෂාවට අවශ්‍ය කළ නිසි අවධානය යොමු කර ගැනිමට හැකියාව ලැබුණි. තවද, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත නාවික හමුදා ‘ස්කුබා’ කිමිදුම්කරුවන් විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම් මගින් මත්ස්‍ය විශේෂ නීති විරෝධී ලෙස දඩයම් කිරීම වළක්වා ගැනීමට හැකි වී ඇත.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදි. ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය, ශ්‍රී ලංකා පොලීසිය සහ තවත් සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් විසින් සිය ඉදිරිපත් කිරීම් සිදු කරන ලදි.
අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, ආඥාපති බටහිර නාවික පෙදසෙ රියර් අද්මිරාල් නිරාජ ආටිගල, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල්(විශ්‍රාමික) පිඒඩීආර් පෙරේරා, නාරා ආයතනයේ සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න, වෙරළ සහ සාගරික වැඩසටහන් සම්බන්ධීකරණ අර්ජන් රාජසූරිය යන මහත්වරුන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ම මෙම අවස්ථාවට සහභාගි විය.
මෙම සම්මන්ත්‍රණය ප්‍රථමවරට එළි දක්වන ලද්දේ වර්තමාන නාවික හමුදාධිපති තුමන් එවකට මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ අවධියේ ය.











